“ඊයෙ රෑ සිද්ධිය ඒ තරම් ලොකුවට ගණන් ගන්න එපා.. කන්ද උඩට කැළැවෙන් කැළැ හාවො එහෙමත් එනවා.. අපි ඉතින් උන්ව හුරතල් කරනව විතරනෙ.."
"ඒ කිව්වෙ.. "
" ඒ කිව්වෙ කැලෑ හාවො අහිංසක සත්තු. හැබැයි කැළැවෙ භයානක සත්තුත් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි හුරතල් කරන්නෙ අපිට ලන්ච් එකක් කියල පේන සත්තුන්වනෙ. අපිව ලන්ච් එකක් කියල දකින සත්තුන්ගෙන් අපි පළා යනව. ඒක තමයි එතන්ත් වුණෙ"
" අපි එහෙම පළා ගියෙ නැත්නම් ඌ අපිව කන්න වුනත් තිබුණද හිමා?"
" ඒක ඉතින් ඒ වෙලාවෙ උගෙ මුඩ් එක අනුව තීරණය වෙන්න තිබිච්ච දෙයක්.."
හිමකර කාර්්‍යාලයේදි මගේ මේසය අසලට විත් කතා කරනු චාරුදර උවමනාවෙන් බලා සිටියේය. චාරුදරගේ ඇස් කලබලය. ඒත් හරි ලස්සනය. ඒවායේ අහිංසක ගතියක් තිබේ.
" මොනාද වුණෙ? හැමෝම තැන තැන කුටු කුටුු ගානව" දවල් කෑමෙන් පසු ඔහු මවෙත ආවේ කෙලිලොල් සිනාවක් පාමිනි.
" මොනාත් නෑ මල්ලි.."
" නෑ කිව්වට ඉතින්.."
හිමකර වරක් අප දෙස බලා ඊලග වතාවේ පෙරට වඩා කල්පනාකාරීව බැලුවේය.
" ඒයි … ඔය කෙල්ල හුරතලේට හිටියට උඹට වඩා වැඩිමල් ඈ.."
චාරුදර ගේ මුහුණේ මස්පිඩු වෙනස් විණි. මා සිතුවාට වඩා වේගයෙන් ඔහු කේන්ති ගත්තේය.
" වයස කියන්නේ නම්බර් එකක් විතරයිනෙ හිමකර අයියා.. "
" අප්පට සිරි.. "
හිමකර සිනාසෙමින් අප අතරින් වෙනතක ගියේ චාරුදර දෙස කල්පනාවෙන් බලමිනි.
"ඌ හැමතැනම කෙල්ලො ටෝක් කරනව.. මෙතන මං කෙල්ලෙක් එක්ක පොඩ්ඩක් කතා කලාම තමයි ඔක්කෝම "
" ඉතින් ඔයා මේ මාව ටෝක් කරනව නෙමෙයිනෙ නේද චාරු?"
චාරුදර හිස සැලුවේය.
" ඔයා කැමති දෙයක් හිතාගන්න පුලුවන් ඉතින්.. ඔයා ටෝක් වෙන්න කැමති වගේ දැනුනොත් මං ඉන්නවා ඔයාව මුලු ජීවිත කාලෙම ටෝක් කරන්න විතරක් නෙමෙයි ඇස් දෙක වගෙ බලා ගන්නත්.."
චාරුදර කෙටිව එහෙත් දිගු කතාවක් කීවේය. මං දෙවුර ගස්සා කොලුවාට හිනා පෑවෙමි.
". මොනවද අනේ මේ කියන්නේ … ජීවිත කාලෙ කියන්නේ අවුරුදු ගානක් වෙන්නත් පුලුවන් .. විනාඩි ගානක් වෙන්නත් පුලුවන් .. කවුද දන්නෙ ඔය කන්ද නගිද්දි පල්ලෙහාට වැටිල මං අද හවස මැරෙයිද කියලජ.. "
" එහෙම නම් වෙන්න විදියක් නැ.. දන්නවද.. මේ ලෝකෙ මං වෙනුවෙන් මවපු කෙනෙක් ඉන්නවා නම් ඒ ඔයාම වෙන්න බැරි නෑනෙ"
" ඒ
කියන්නේ ඔයා මැවුම් වාදය විශ්වාස කරනව"
"ඇයි ඔයා විශ්වාස කරන්නෙ මොකක්ද?"
"බිහිවිමට වඩා පැවතිම ගැන මට එක එක වෙලාවට එක එක මතවාද තියනව.."
චාරුදර මගේ නෙත් විනිවිද යනාකාරයේ බැල්මක් බැලුවේය.
" ඔයා ගැන මං අම්මට කිව්ව"
"මොනාද කිව්වෙ ?"
" යස්ස කෙල්ලෙක් අපේ ඔෆිස් එකට ආවා කියලා"
" ඉතින් අම්ම මොකද කිව්වෙ.."
" ඔයාට කියන්න කිව්ව ඔයා ඇතුලෙ තියෙන ශක්තිය වෙනස් බව තේරුම් ගන්න.. ඔයා වෙනස් කෙනෙක් බව ඔයා දැනටමත් දන්නවා. හැබැයි ඔයා ඒක ඇක්සෙප්ට් කරන්න ඕන බව.."
සමහර කාරණා මගේ පෙර ගෙවු ජීවිතය ට කොතෙක් සෘජුවම සම්බන්ධ වුවද ඒ සියල්ල හිස නමා පිළිගන්නා බවක් නොඅගනා සිටින්න මම උත්සාහ කළෙමි. එහෙත් චාරුදර හැසිරුණේ මා ගැන සියල්ල දන්නා කෙනෙකු හැටියටය එතරම් සමීපවය.
චාරුදර ගේ අම්මා මා ඇසට හෝ නොදැක මේ කියන කතාවට පදනම් වෙන්න පුලුවන් මොන වගේ හේතුද?
"වෙලාවක යං අපේ අම්ම බලන්න.. එයාට ඔයාව බලන්නම ඕනෙ කිව්වා"
" ඒ කොහෙද චාරු?"
" වැඩි ඈතක නෙමෙයි. "
" ඩැෆඩිල් ටෙරස් එක පැත්තෙද.."
චාරුදර මොහොතක් මදෙස බලා සිටියේය.
" ඩැෆඩිල් ටෙරස් එක පැත්තෙ නෙමෙයි අනික් පැත්තෙ. මං මෙහෙ වැඩ කලාට මේ ඉන්ස්ටියුශන් එක රන් වෙන්නෙ පීටර්ස් ලාගෙ සල්ලි වලින් වුනාට මට උන්ව පෙන්න්නන් බෑ. කාලකන්නි. උන්ට මිනිස්සුන්ව තේරෙන් නැ. වතුවල මිනිස්සුන්ගෙ ශ්‍රමය හුරගෙන කනවා. ජීවත් වෙල ඉද්දිම උන්ගෙ යුශ ටික උරාබීලා හප කරල දානවා.. ම්ලේච්ඡ හැතිකරේ.. "
මේ ආයතනය පීටර්ස්වරුන්ට සලකන්නේ ඔවුන් ව රාජාභිෂේක කරගෙනය. එවැනි ආයතනය ක වැඩ කරන තවම පරිවාස කාලයේ පසුවෙන එක් සේවකයෙකු විසින් නිර්දය ලෙස විවේචනය කෙරෙනු ලබන්නේ මෙම ආයතනය වැසී යන්නට ඔන්න මෙන්න තිබියදී ඉන් බේරාගෙන සිය ධනස්කන්ධය මෙහි තැන්පත් කළ දෙව්දුව හා දෙව්දුතයා ගැනය.
" කොකටත් පරෙස්සම් වෙන්න වෙයි තීනු ඔයාට.. මං දැක්කා එදාත් ඒඩ්න් කාරයා ඔයා දිහා හොර ඇහැක් දාන් ඉන්නවා "
මම චාරුදරට සිනා වීමි. මේ සිද්ධිය මුලික කරගනිමින් මේ ළපටි හිසැති හැඩ යව්වනයා තිනෙත්මාට මනමාලකම් කරනවායැයි කතාවක් ආයතනය තුළ ගොඩනැගිනි.
"මොනා වුනත් මේ පළාතෙ හැටියට චාරුල සෑහෙන වත්කමක් තියෙන මිනිස්සු .. ඕන නම් තීනුට පුලුවන් චාරුව කසාද බැදලා මේ පළාතෙම පදිංචි වෙන්නත්.."
රාත්‍රි කෑම වේල ගන්නට කෑම මේසය ට වාඩිවි හිමකර කීවේය. මේ වාගේ කතාවලට පිළිතුරු නොදී ඉන්නට මට පුරුදු වූයේ ඉබේමය. මටද වැරදුණු එක් තැනකි. ඒ මිතුරු ඇසුරය. තාත්තාගෙ කෝටිපති ව්‍යාපාර වලින් ගලා ආ මුදල් වල සැබෑ ප්‍රභව පිලිබඳ මට එතරම් උනන්දුවක් නොතිබුණි. තාත්තා පිටරටින් සැපයුම් ජාලයකට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා දෙන එක් පුරුකක්ව සිටි අතර තිනෙත්මා කියන්නේ ඩොලර් මිටි පිටින් භාවිතයට ගන්නා පියෙකුගේ කිසි අරපරෙස්සමක් නැති දියණියකි. නාන කාමර භාවිතයට පවා බ්‍රැන්ඩඩ් සෙරෙප්පු පැළදියකි. තාත්තා ගේ ව්‍යාපාර සගයා වුයේ සජීඩ් මොහම්මඩ්ය. සජීඩ් අන්කල් ගේ පවුලත් අපේ පවුලත් අතර වුයේ සමීප හිතවත්කම කි. රාත්‍රි සාද, නිවාඩු ගමන්, සති අන්ත සාද මේ ආදි අනම් මනම් සියල්ලට අප දෙගොල්ලෝ සහභාගි වුයේ එකටමය. මේ කියනා කාලයේ රන්දික මගේ ජීවිතයේ නොසිටි අතර මේ දවස් වල මට නිකමට හෝ 177 බස් රියක යාමේ උවමනාවක් තිබුණේද නැත.
" හයිටී යමුයි" අහන්නට "ජාවා ලොන්ජ්" එකට එන්නැයි කියන්නට මිතුරු මිතුරියන් පොකුරකි. ඒ අතර සජීඩ් මොහම්මඩ් ගේ දියණිය සාදියා ද මගේ ළගම යෙහෙලියක වුයේ අප ගේ පවුල් අතර වු සම්බන්ධතාව හේතුවෙනි. වෙනස් සංස්කෘතික ලක්ෂණ පැවති වටපිටාවකින් පැවතුණද ඕනැම සංස්කෘතියක්ද අතික්‍රමණය කිරිමේ හැකියාව මුදල් වල ක්‍රය ශක්තියට තිබේ.
අන්තර්ජාතික පාසලේ සිට මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලයේදීද අප ජීවත් වු සමනල ජීවිතය පුරාවට සාදියා ද සිටියාය. එහෙත් මෛ් සියළු දේවල් වෙනස්ව ගියේ එක්තරා සිද්ධි දාමයක් හේතුවෙනි. සජීඩ් මොහම්මඩ්ට අයත් නිවාඩු නිකේතනයක පිහිනුම් තටාකයක් අසල ඔහු හිටිහැටියේ ජීවිතක්ෂයට පත්ව සිටියේය. බාහිරින් පෙනෙන ආකාරයේ කිසිම තුවාලයක් නොතිබිණි.
මේ මරණයෙන් පසු තාත්තා ජීවත් වුයේ කම්පිතවය. මෙය ස්වභාවික මරණයක් ලෙස පිළිගත යුතු වුවද තාත්තාගේ ත්‍රස්ත බව මට හැමවිටම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළේය.
" සජීඩ් එච්චර ඉක්මනින් මැරෙන්න ඕන මිනිහෙක් නෙමෙයි"
කටකතාව එළියට වැටුණේ ඉන්පසුවය. කරුණාවන්ත සහ කිසිම සෝබනයකින් තොරව ජීවත් වු මගේ අම්මාව ඔවුන් ඊට තෝරාගත්හ. සජීඩ් මොහම්මඩ් සහ අම්මා අතර වු ඉපැරැණි ප්‍රේමයක නෂ්ටාවශේෂ සොයා ගැනීමෙන් ඉක්බිති තාත්තා විසින් අබිරහස් ආකාරයකින් සජීඩ්ව මරා දැමීය යි කිසිදු පදනමක් නැති කතාවක් ගොඩ නැගිනි. මිනිස්සු තම තමන්ට රිසි කතාන්දර ගොඩ නගති. ඒවාට පදනම් අත්‍යවශ්‍ය නොවේ. සාදියා ලා අප සමග වෛර බැදගන්නට මුල් වුයේ එතැනය.
අම්මා නිශ්ශබ්ද වී සිටියාය. තාත්තා ස්වභාවයෙන්ම සැරපරුශ මිනිසෙකි. ඔහු යම් යම් කාල වකවානු වලදී එක් එක් චරිත ලක්ෂණ වලින් පෙළුණේය. බීමත්ව අම්මාට බැණ වැදුණේය. ශාරීරික වදහිංසා දීම්ද සිදු කළේය. මා වයසින් වැඩෙත්ම ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩු වුවද මානසික හිරිහැර කිසිසේත්ම අඩු නොවුයේය.
"ඇයි ඔයා තීරණයක් නොගන්නේ?" කියා මා අම්මාගෙන් විමසන වාරයක් ගානේ වුවද ඕ නිහඩව බලා සිටියාය. අම්මලා මහපොළව වගේ යයි මා දුටුවේම මගේ අම්මාගෙනි.
"මිනිස්සුන්ට එක එක ඉරණම් තියෙනව තීනු. මට ඕනෙ ඔයා මේ ලෝකෙ සතුටින් ම ජීවත් වෙන ගෑනු ළමයා වෙන්නයි. තාත්තා ගෙන් මං වෙන්වෙලා ගියත් තාත්තා මාව හොයාගෙන එනවා. ඉතින් මං එයාට මුලු ජීවිතේටම බැදිලායි ඉන්නෙ. එයා ගෙ සමහර ගති ලක්ෂණ නිසා එයා ඔහොම නපුරු විදියට හැසිරුණත් එයා මට හරි ආදරෙයි"
අම්මා මුදුව කීවාය. ඒ ප්‍රේමය පිලිබඳ ව එදාද අදද මම පුදුම වෙන්නෙමි.
" ඔයාට වුනත් ඔය ස්ටේබල් නැති අදහස් සිතුවිලි තියෙනවනෙ. ඒ නිසා රිලේශන්ශිප් එකකදි සෑහෙන්න පරෙස්සම් වෙන්න වෙයි"
තාත්තා ගේ ජීවිතය අවසාන වූයේ සජීඩ් මොහම්මඩ් ගේ මරණය සිදුවුවාටත් වඩා ඛේදනියසෙියදිවිනසාගැනීමක් ලෙසිනි. අම්මාත් මාත් කම්පනය වී සිටි නමුත් කාලයාගේ ඇවෑමෙන් අපට එහි වේදනාව ට වඩා බරපතළ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට සිදුවි තිබුණි. තාත්තාගේ ව්‍යාපාර එතරම් බංකොලොත් තත්වයක විනැයි අප විශ්වාස කළේ නැත. එහෙත් ඔහු ණයවී තිබුණ මුල්‍ය ආයතන වල ණය පියවීමට අප ජීවත් වු මන්දිරයක ස්වභාවය ගත් නිවස වෙන්දේසි කිරිමෙන් පසු අපට ඉතිරිවු මුදල් වලින් රණාල ට ආසන්නයේ කුඩා නිවසක් මිලට ගන්නට කටයුතු කළාය. මගේ උසස් අධ්‍යාපනයද එතැනින් අහවරව ගිය අතර තාත්තාගේ හිතවත් අධ්‍යක්ෂක වරයෙකු ගේ උදව් ලබා ගැනිමට උත්‍රා අක්කා කටයුතු කළ බැවින් මට මේ මුල්‍ය සමාගමෙහි රැකියාවක් ලැබිණි.
රන්දිකත් මාත් ආදරයක පැටළුණේ මා කඩුවෙල සිට කොල්ලුපිටියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය ට සේවයට එද්දීය. 177 ඒසී බස් රියේ මා ළගින් හිඳගෙන ලැප්ටොප් එක උකුලෙන් තියාගන්නා රන්දිකගේ වැළමිට මගේ උකුලට බරවෙයි. එතැනින් එහාට අපි ඇස් වලින් අනන්තය සොයා යන්නට පටන් ගත් ගමන සති අන්ත වලදී රන්දික ගේ බෝඩිම් කාමරයෙන් බොහෝ විට කෙළවර විණි.
මගේ උරයට කොපුලක් බරකරගෙන අපි ඉංග්‍රීසි හින්දි මලයාලම් තෙලිගු චිත්‍රපටි බැළුවෙමු. උසස් විද්‍යාලයේ බොහෝ මිතුරු මිිතුරියන් ඒ වෙද්දී සතිඅන්ත ගතකරන්නට යෙදුණේ රාත්‍රි සමාජ ශාලා වල හෝ රහසේ පවත්වන මත්ද්‍රව්‍ය සාද වල වුවත් මේ වෙද්දී මුදල් යහමින් විනාස කිරිමට තරම් වත්කමක් නැති මගේ ජීවිතය සහමුලින්ම හිරවී තිබුණේ රන්දික හා ගෙවුණු ලෝකය තුල බව කිව යුතුය.
" තාත්ති සුසයිඩ් කරගත්ත එක ගැන මට හරි සැකයි…රන්දි" දවසක මම රන්දිකට කීවෙමි. රන්දික මදෙස හැරී බැලුවේ විමසිලිමත් දෑසිනි.
" ඇයි.. තීනු.."
" තාත්ති කීයටවත් සුසයිඩ් කරගන්න ජාතියෙ මිනිහෙක් කියලා මට හිතෙන්නෙ නෑ.."
" අපට ඒ ගැන හොයල බලන්න පුලුවන් .."
" තාත්ති යුස් කරපු මැක් එක ෆෝන් එක ඔක්කෝම මං කඩුවෙල ගෙදරට එනකොට අරන් ආවා.. අපි වෙලාවක ඒවයෙ ඩේටා රිකව කරල මොකක් හරි හොයා ගන්න පුලුවන් ද කියලා බලමුද?"
" ඔව් අපට එහෙම කරන්න පුලුවන් "
පවුලේ තනි ගැහැනු ළමයා හැටියට බොහෝ සැප සම්පත් මැද හැදී වැඩුණු මට උපතින් ගෙනා හිතේ තෙතක් මිස පරාාර්ථකාමිත්වයක් ගැන ඉගෙන ගන්නට ගෙදර පරිසරයෙන් ඉඩ සෑදී තිබුණේ නැත. කලිනුත් මා කියා ඇති පරිදි අති ධාවනකාරි දිවි පැවැත්මක යෙදී සිටි දැඩි මතධාරි ඒකාධිකාරි පියෙකුත් ඒ සියලු හිංසාවන් ඉවසා දරාගන්නා පුර්වාදර්ශයන් සහිත ආසියාතික භාර්යාවකගේ චරිතය මනාවට රගපැ මවකුත් යටතේ හිතවක්කාර අමුතු දැරියකසේය මා හැදී වැඩුණේ. සමහර අවස්ථාව ක මගේ යටිහිත මට චෝදනා කළේ මා රන්දිකව මගේ පෞද්ගලික උවමනාවන් පිරිමසා ගැනීමට පමණක් භාවිතා කරනවාය කියාය.
රන්දික වෙලාවෙන් වෙලාවට භාවිතයට ගනු පිණිසඅතේ ගෙන යා හැකි පෝටබල් කිසිවක් නොවුණේය. එහෙත් මට රන්දික මෙවලමක් වු අවස්ථාවන් නැතුවාද නොවේ. මගේ සමහර සහතිකපත් වල කකුඩා වෙනස් කම් ඔහු කර දුන්නේ ඇත්තෙන්ම මා වෙනුවෙන් තිබු ආදරය හින්දාමය. එහෙත් උත්රාත් මාත් ඒ සහතික භාවිතා කළේ ඊට වඩා එහා ට ගිය යම් යම් කාරණා සඳහාය.
එක්තරා අවස්ථාව ක අපේ වරදක් හේතු කරගෙනම ඉසුරුපායේ තියෙන මගේ සාමාන්‍යපෙල විභාගයේ ප්‍රථිඵල වලට අසමාන ප්‍රථිඵල සහිත අප නැවත රන්දික ලවා නිර්මාණය කරනලද සහතික ආකෘතියක් රැගෙන පොලිසියට යන්නට සූදානම් වු මගේ කාර්යාලයේ මානව සම්පත් අංශය ඉදිරිපිට මා සිටියේ කිසිවක් කර කියාගත නොහැකිව අසරණ වු ලීලාවෙනි.
" කවුද ඔයාට මේක හදලා දුන්නෙ?"
ඔවුන් එක දිගට මාව ප්‍රශ්න කරමින් සිටියහ. මම එකහෙළාම ඒ කාර්යය කරගත්තේ මා බව කියා සිටියෙමි.
" මේ ෆෝමැට් එහෙම ඔයා හදාගත්ත ඒවා කියලද කියන්නේ ?"
"ඔව් මේ ඔක්කෝම මං තනියෙනුයි හදාගත්තෙ. "
" මේ සීල්.. මේ එම්බෝස් සීල් පවා.. "
අවසානයට මෙයට අදාල උවමනා දඩුවමක් මට දෙන්නැයි කියා මම මානව සම්පත කළමනාකරු කෙලින්ම කතා කළෙමි. වෙන කරන්නට දෙයක් නැත.
" අන්තිමේ මට ඔයා වෙනුවෙන් හිරේ යන්න වෙන තැනටද දැන් ඔයා වැඩ කරල තියෙන්නෙ?"
මුල් වතාවට රන්දික බිදිගිය හඩකින් කතා කළේය. උපතින් මධ්‍යම පාන්තික උපත ලදද රන්දික මේ වාගේ වැඩ කරන්නට තරමක් බියය. ශාන්තුවරයෙක් නම් නොවේ. පොඩි පොඩි හැක කිරිම් අනුනෆග් ගිණුම් වලට රිංගා තොරතුරු හොරකම් කර ගැනිම් වගේ දේවල් ඔහු නොකළාද නොවේ. එහෙත් කූට ලේඛන සැකසීම වැනි බරපතළ ක්‍රියාදාමයකට හෙතෙම කිසි විටෙකත් පා තියන්නට ඔහු සූදිනම්ව නොසිටියේය.
අප අතර පළමු දෙදරා යෑම ඇතිවු තැන එතැන යයි මම විශ්වාස කරමි. ප්‍රේමය වෙනඑකකි. තමන්ව භාවිතා කළා යැයි සිතීම තවත් එකකි. රන්දික හැම අවස්ථාවකදිම ඉතාම පහසුවෙන් යොදා ගත හැකිව තිබු ආදේශකයන් අහිමි "ඔරිජිනල්මය පෘථිවි වැසියා " වීම හේතුවෙන් මට ඔහුව භාවිතා කිරිමට සිදුවිය. එහෙත් කිසිවිටෙකත් මා රන්දිකගේ ආදරය උතුරාගිය රෝමාන්තික පෙම් හිත හෝ ගැහැනු හිතක් වාගේම සිරුරක් උමතු වින්දනීය භාවයකට තල්ලු කරනා පිරිමි කම අවභාවිතා කිරිමට යොමු වූයේම නැත.
රන්දික අවංක කොල්ලෙකි. අවසානයටම බැළුවාම ඒ අවංක කම අවභාවිතා වූයේ මා අතින් නොවේ. අවස්ථාව එනතෙක් බලා හිද ඉන් හැබෑම ප්‍රයෝජනය ගත් සාදියා අතිනි.
.jpg)
No comments:
Post a Comment