#DT 03
Daffodil Terrace
" කොහොමටත් අපි එකිනෙකා අදුනගන ඉන්නෙක හරි කම්ෆර්ටබල්. ඔයා ගර්ල් කෙනෙක් .. අපි එක්ක ඉන්න එක ගැන කිසි අවුලක් නෑ. මට ඒකට ගරන්ට් වෙන්න පුලුවන් .නුවා හොද එකා.හොදට බොනව හැබැයි ස්මෝක් කරන් නෑ..හේමන්ත බොස් නම් කියන්නේ කෙල්ලෙක් මේ පිරිමි ගොඩක් මැද්දෙ තියනෙක බොස්ගෙ හිතට හරි නෑ කියලා..හැබැයි තිනෙති..ඔයා නම් මෙතන කිසිම ගේමක් නැතුව ඉන්නව කියල මට ශුවර්"
රෑ කෑමෙන් පසුව මම මගේ නිදන කාමරයට වැදුනෙමි. නොයෙක් ශබ්ද එලියෙන් ඇතුලට ඇසෙන බව පලමු මොහොතේ සිටම මට දැණිනි. අනික් කාරණය වුයේ..මගේ කාමරයේ ජනේලයකින් බැලුවිට මිදුලෙන් එහා පැත්තේ කදුබෑවුමත් කෙලින් බලද්දී නුවන්ගේ හෝ හිමකර ගේ කාමර දෙකෙන් එකක ජනේලයකුත් පෙනීමය. හිත බයක් වගේ යමකින් තැලුම් කෑවේ නාන කාමරයේ පෑන් ලයිට් එක විවරවී ඇති බව දුටු මොහොතේ පමණකි. මම එයද වසා දැමුවෙමි. සුරක්ෂිත හැගීමක් මට එවෙලේ දැනෙන්නට පටන් ගත්තේය. මට තද ගමන් වෙහෙසක්.. අලුත් තැනකට හැඩගැසෙන්නට වීමේ මානසික අසමතුලිතභාවයක් දැඩිව දැනෙමින් තිබිණි.
ඒ වන විටත් මට අහිමිවී ගිය ආදර කතාවල ශේෂ වුණු නටඹුන් පැරණි හොල්මන් සිහියට නැගුණේ අධික සීතල කලුවර එහා පැත්තේ කැළෑබද පරිසරයෙන් නැගෙන අමුතු ශබ්ද හේතුවෙනි. එක වරම භීතියට පත්වු සත්වයෙකුගේ ශබ්දයකින් හාත්පස ඇළලී ගියේය. ඒ මොහොතේ කොයිතරම් බයක් දැණුනාද කියනවානම් දිගාවී සිටි මා ඇඳේ කොණකටවී ගුලිවුණෙමි. ටික වේලාවකින් සියල්ල සන්සුන්ව නිශ්චල විය. මම හෑන්ඩ්ස්ෆ්‍රී කණට සවි කරගත්තේ හිත සන්සුන් කරගන්නට පුලුවන් ගීතයක් අසන්නටය. ඒ වන විටද මගේ ප්‍රියතම ගීතය වී තිබුණේ "Arcade” ය. මගේ මනස ම මට දැණුනේ නන්නාදුනන විදේශිය බිමක් කියාය.මා ඇබ්බැහිවි සිටියේම පරාජිත ප්‍රේමයකටය.
රන්දික සෞමිය හේවාමාන්න..අප එකට ගෙවු කාලය අප වෙනවි ගෙවු කාලයට වඩා වැඩිය. එබැවින් හිතේ ඇත්තේ අලුත් තුවාලය.. මේ වගේ නන්නාදුනන බිම්වල සීතලම සීතල රාත්‍රින් වල සාපේක්ෂව වැඩියෙන් ම මතකයට එන්නේ ඔහුය. ඒ අර තුවාාල වලට ලුණුකැට දමා තදකිරිමේදි ඇතිවෙන වේදනාවකුත් සමගිනි
මා කොල්ලුපිටියට වැඩට ගියේ කඩුවෙලින් 176 ඒසි බස් වලය. රන්දික නගින්නේ ඊට හෝල්ට් කිහිපයක් එපිටිනි. එකිනෙකා හා අවදානයක් නැති මුල් දවස් වල රන්දික බස් රියෙන් බහින්න පෙර මා දෙස බලා සිටිනවායි මට කීවේ කොල්ලුපිටියේ ප්‍රින්ටින් හලක වැඩ කළ මිතුරියකි. ඇයද මා හා කඩුවෙලට පැමිණ ආයේ වැල්ලම්පිටිය පැත්තට ටික දුරක් යන්නියකි. පසුව රන්දික කඩුවෙලටම එන්නට පටන් ගත්තේය. දැන් කතාව පැහැදිලිය. මා රණාලට යන්නට බසයට නගින තෙක්මත් ඔහු පේන දුරක බලා සිටින්නේය. පසුව ඔහු කොල්ලුපිටියේ බස්නැවතුමෙහි මා එනතෙක් බලා සිටින්නටද මගේ යෙහෙලියට මල් මදහාස අල්ලසක් දී ඇය වෙනත් අසුනකින් වාඩිකරවිමටද මේ කෙට්ටු කොලුවා සමර්ථ වුයේය.
"මාස ගාණක් මං මෙහෙම යනවා එනව"
මම ඉතින් වාගේ බැල්මකින් බැලුවෙමි.
"ඔයා එක්ක කතා කරන්න මේ ට්‍රයි කරන්නෙ මම"
මොනවා වුනත් රන්දික මාස දෙකතුනක මහන්සිය එක පැයකින් අවසන් කර දැමුවෙ එදාය. මේ වනවිට මට හිතෙන්නේ ඔහු සිටියේ අතහැරදැමීමේ අවසාන එජ් එකේමය. අන්න එතනදී කොල්ලෙකුට කැමති වීම කෙල්ලකට වෙනස් අගයක් එකතු වෙන තැනකි. පස්සෙන් ඇවිල්ල ඇවිල්ල මැරෙන්න හදනකොට බැරිම තැන යාලුවුනානෙ මාත් ඉතින් වගේ වැකියක් පහසුවෙන් බාවිතා කළ හැකිය. රන්දිකගේ ලෝකය අයිති මෘදුකාංග වලටමය. ඉංග්‍රීසි සින්දු අහන්නේය. මං අපිමචං අහද්දි ඔහු ඇසුවේ charlie puthය• මට රන් අහන්නට ඕනැ වෙලාවල ඔහුට සන් අහන්නට ඔුනැය. වෙනසකට තිබුණේ මගේ රසාස්වාදය තැනින් තැනට වෙනස් වීමත් රන්දිකට එසේ නොවිමත්ය. අනිත් එක මං හිටිහැටියේ EDM අහද්දිත් රන්දික වෙනසක් නැතිව ලයිටරයක් සාක්කුවේ දමාගෙන , කිසිවිටෙකත් දුම් භාවිතයක් නොකිරිමය. ඒ අවශ්‍ය ම වෙලාවක ඔහුගේ පෙම්වතියගේ සිගරට්ටුව දැල්විමටය.
" අපි බැදල බබාලා හදනකොට ඔයා ඕවා නවත්තනවානෙ.. "
"ඔයාට එහෙම හිතෙනවද?"
"ඔව්.. එතකොට ඔයා වෙනස් වෙනව"
මා සිටියේ සැකයකිනි. මට එහෙම විශ්වාසයක් මා ගැන නැත.
"ම්ම්ම්ම.. මං ඔයාට ඩිවෙලොප් කරල ගන්නං"
"මං සොෆ්ට්වෙයා එකක් නෙමෙයි රන්දි.."
"ඔයා සොෆ්ට් .. ඒ ඇති මට"
රන්දික ප්‍රේමය දැන සිටියේය. ඔහු කංසා රහිතව ආකාසෙටම ගමන් ගෙන යනවා වාගේම අයිස් නැතිව උත්තර ධ්‍රැවයේ රවුම් ගසන්නටද මා ගෙන ගියේය. එහෙත් එහි තේරුම රන්දික සම්පුර්ණ විවෘත මනසකින් යුතු මිනිහෙකුය කියන එක නොවේ. ඔහු කිසිදිනෙක මා අත් හරින්නට සිතා නැති කෙනෙකි. අප විවාහවී දරුවන් හදා ගන්නා සාමාන්‍ය මිනිසුන් වෙනු ඇතැයි කල්පනා කළේය. ආදරයත් රෝමාන්තිකත්වයත් එකක් නොවේ. ආදරය ගැඹුරුව හදවතේ තියාගත හැකි නමුත් රෝමාන්තිකත්වය එහෙම නැත. එය හැම මොහොතකම සම්බන්ධතා අළුත් කරයි. ඒවා උදාසීන වීමට ඉඩ නොදෙයි. ඉතින් අප සිටියේද එතැනය.
රන්දික ශාරිරිකව ශක්තිමත් උරබාහු සහිත ජිම් යන විදියේ කොනෙකු නොවු නමුත් ඔහුගේ හදවත නිකුත් කළේ වොට් 33000ට වඩා වැඩි විද්‍යුත් ධාරිතාවන්ගෙන් යුක්ත කම්පනය.
දැන් මට මේ දරාගන්නට අපහසු අන්න ඒ වොට් බරගාණක ප්‍රේමයෙන් වැදුන කම්පනය අහිමි වීමේ වේදනාවද?
මට එහෙම්ම නින්ද ගොස් තිබිණි. පාන්දර ..ඔව් ඒක කන් අගුල් වැටෙන අමුතු අත්දැකීමකි. අයිස් සේ සීතලම සීතල වතුර.. දඩුවම් මාරුවක් මේ වාගේ පළාතකට ලබා දීමේ නියම අර්ථය මට හැබවින්ම වැටහෙමින් තිබු බව කිව යුතුය.
උදේ කෑම මේසයට සුදානම් බව කුට්ටන් පැමිණ කී අතර ස්ත්‍රික්කය තියා ඇති පොදු ඉඩට මා යද්දී හදිස්සියටද මන්දා ටවල් එකක් පමණක් ඇදගෙන කමිසයක් අතේ පටලවාගෙන පැමිණි හිමකර මා දැක ආපහු හැරෙන්නට සැරසිණි. එකතු නොකල කොන්ඩය මුදාහැරි තිබිණි. තර්කයක් නැත. ඔහු කඩවසම් කොල්ලෙකි. තීනු එහෙම දැකි පමණින් ලස්සන කොල්ලෙකුට වහවැටෙන විදියේ කෙල්ලක්ද? නැහැ . මුනිච්චාවට නැහැයි කියා කීවාට එහෙම වුණු අවස්ථා කොතෙකුත් තියේ. රන්දික කියා කියන්නේ, කොන්ඩය වවන විදියේ කෙනෙකු නොවේ. පරිගණක යතුරු පුවරු දිගේ හැමවෙලාවේම ඇගිලි හසුරුවන ඔහුට නියපොතු වැවීම රැවුල කැපීම පවා මහා කරදරකාරි ස්වභාවික කාරණාය.
විලාසිතා! ඒවා නම් කොහොමටත් රන්දිකගේ ලෝකසීමාවේ තිබුණේම නැත. ඉතින් මේ මොහොතේ මේ ශීතල අයිස් කැට කොන්ඩය පුරාමත් රැදී තියෙනවා ඇතැයි සිතෙන නගරයේ හිමකර නොවැසුණ උඩුකයකින් අතපොවන මානයක සිටීම මගේ හිත ටිකක් සොලවන හැගීමක් ඇති කළේය.
"මං අයන් කරල ඉවරයි"
හිමකර ගීතයකුත් උරුවම් බාමින් හිස දෙපස වනා ආවේය.ඔහු ගාවින් මෘදු සුවඳ විලවුන් සුවඳකුත් නැහැයට දැණිනි. දැන් මට මගේ හිතට තරවටු කරගන්නට අවස්ථාව එළඹී තිබේ. ගැහැණු තමන්ට කරුණාව සහ සැලකිල්ල දක්වන පිරිමි ප්‍රාණීන්ට සැණින් බැඳීම ගැහැණු නිර්මාණයේදි දෙවියන් අතින් සිදුවෙන්නට ඇති නිශ්පාදන වරදක් විය යුතුය.
මෙනවා වුනත් අර පෙරදා රැයේ මරභීතියෙන් කෑගැසු සත්වයා ඉන්නට ඇත්තේ කොහේ වෙන්නට පුලුවන්ද? මම කවුලුව වසා ඇති තිර රෙදි දෙපසට කලෙමි. කෙලින් පෙනෙන කාමරය හිමකර ගේ නම් නොවේවා! ඒ කාමරයේ කවුලු වසා දමා තිබිණි.
මට දැන් මේ වෙලාවේ. කොහොමටවත්ම ආදරයක් නොවේ.මේ ඊට හාත්පසින්ම වෙනස් වෙලාවකි. ජීවිතය සැලසුම් කලේ මා මීට නරක අගාධයකට අතහැර දමන්නටය. නමුත් තවදුරටත් මම එල්ලී හිඳින්නට තීරණය කර ඇත්තෙමි.
උදේ කෑම මේසය ලා ඉර එලියේ චන්ද්‍රසේකරන් දැක ගැනීම කුට්ටන්ගේ සීනි සම්බලයේ රස.. මොයාකාර අලුත් දෑ කීපයක් සිදුවිය.
හිමකර සිය හිසකේ පුරුදු පරිදි හිස මුදුනට කර බඳිමින් සිටි අතර විසිත්ත කාමරය අයිනක තියා ඇති පැරනි මොඩලයේ කන්නාඩි මේසය ඉදිරියේ දණිස් නවමින්් හැඩ බලමින් සිටියේය. නුවන් මා සමග බංගලාවේ ඉදිරිදොරෙන් එලියට ආවේය. මම නිකම් හැරීත් බැලුවෙමි. හිමකර ට කිසි වගක් නැත.
අපි ගල් පඩිපෙල බසිමින් සිටියෙමු.
"මෙහෙ ඔක්කෝම හොදයි. මේ පඩිපෙල බහින එක තමයි අමරු"
නුවන් සිනාවෙමින් කිව්වේය. මමද සිනාසුනෙමි. කාර්යාලය ටිකින් ටික හුරු වෙමින් තිබේ. හිමකර හෝ නුවන් මා ඔවුන් සමග එක වහලක් යට නතරවී හිදීම අමුතු වාසියක් කරගන්නට උත්සාහ කළේ නැත. එහෙත් පිරිමි ගැන එහෙම දවසකින් තීරණ ගැනීම කළ නොහැකි බව මම දැනටමත් දනිමි. මට අනුව මගේ තාත්තාගේ සිට රන්දිකගේ සිට හැම පිරිමියෙක්ම එකිනෙකාට වෙනස් එහෙත් එකම මුලික මොඩලයක් ඇති සත්ව කොට්ඨාසය කි.
චාරුදර .. චාරුදරව මට හදුන්වා දුන්නේ ඊයේ වැඩට නොආ අලුතින් පත්වි ආ විකුණුම් සැලුසුම්කරුවෙක් ලෙසිනි. ආසන්නතම කාලයකදි පාසල් අධ්‍යාපනය අවසන් කරන්නට ඇතැයි හිතෙන ඕවලාකාර ලපටි පෙනුමැති මුහුණ කින්ද ඊට කිසිසේත් නොගැලපෙන මාංශපේෂි සහිත සිරුරකින්ද සමන්විතවු මේ පිරිිිමි මොඩලය දෙස මා විශ්මිතව බලා සිටිම හසුවුයේ හිමකරගේ ඇසටය.
" මොකද බං තුශ්නිම්බුත වෙලා වගේ ඌ දිහා බලන්නෙ.."
" එයා කොහෙන්ද එක පාරටම මතුවුණෙ?"
" එකපාරම නෙමෙයි මිනිහ මෙහෙට පහළ වුණේ නම් මාස හතරකට විතර කලින්.."
" එයා මේ පළාතෙම කෙනෙක්ද?"
" ඔව්.. ඩැෆඩිල් ටෙරස් එකට ටිකක් පහලට වෙන්න.. වත්තක කොල්ලෙක්.. වස්සා වගේ හැදිල ඉන්නෙ පොඩි කාලෙ ඉදලම හොදට මහන්සි වෙලා වැඩ කරල.. මූ වගේම අපත සෙට් එකක් ඉන්නවා ඌට.."
මම හිස වනා එය පිළිගත් බවක් ඇගවීමි. මොනවා කිව්වත් මට චාරුදරගේ හැසිරිම සිනහව මතකයේ ඇති ළගම ළග කෙනෙකු සිහිපත් කලද හරියටම ඒ කාටදැයි කියන්නට මතක නැත. තාත්තාගේ පරම්පරාවේ පවුල් වල පිරිමි ළමයින් ඔක්කෝම ත් ඔහොමය. ඒත් මේ චාරුදර ඒ එකෙක්ටවත් පැහැදිලි සමනෙකමක් කීවෙිද නැත. එහෙත් ඔහුට මගේ ඥාති සහෝදරයින්ගේ උණුවන ලේ සහිත හිතුවක්කාර හැඩිදැඩි බව මනාව පිහිටා තිබිණි.
(සතිය මැද නිර්මාණආවේශයට ලක්වීමෙන් ඉක්බිති )

No comments:
Post a Comment