විසි දෙවන කෝපි කෝප්පය
එරන්ද සමගම බම්බලපිටියට ගොස් අතරමගකින් වාහනය නවත්වා මිහිරට ඇමතුමක් ගෙන බලද්දී රෙස්ටොරන්ට් එක ආරක්ෂිත ය. අඩු ගණනේ අචලවත් නැත.
"ඊයෙ බබා නංගි නං මාර පිස්සුවක් නැටුව. මං අචලට කිව්ව රෑ ඒකි බලන්න යං කියලත්. අන්තිමේ අචල කුණුහරුපෙන්ම දෙකක් කිව්ව"
මිහිර මේවා කියන්නේ මා සිද්ධිය ගැන දැනුවත් නැතැයි සිතා ය.
"එයා වියරු වැටිල බං ඉන්නෙ.
හේතුත් තියනව නෙ"
මම පිරිමි ළමයින් දෙදෙනා දෙස හැරී බැලුවෙමි.
"හේතුව මං නෙ"
මම මෘදුව අසමි. මිහිර මඳක් අපහසුතාවයෙනි.
"හේතු නැතුව හරි මුන් දෙන්න බ්‍රේකප් වෙනවට ඇත්ත්ටම මං නම් කැමතියි. මොකද මට ඇත්තටම ඕනෙ ටිකක් සැනසිල්ලෙ ඉන්න.."
"ඉතින් එහෙනම් ඇයි එයා මෙනාව හරි කියපු ගමන බය වෙන්නෙ ?"
කියන්න බැහැ නෙ බිම්ම. වැඩිය හිතන්නෙ නැහැනෙ දෙයක් ගැන "
"ඔයාලා ඔහොම හිතන බව දැනගෙනම තමයි කෙල්ලො ඔය ට්‍රික් එක පාවිච්චි කරන්නෙ"
"සිරාවට ද?"
"ඔව්. කීයටවත් මැරෙනව කිව්වට මැරෙන්නෑ"
එරන්දත් මදෙස පුදුමයෙන් බැළුවේය.
" ඔයා කොහොමද ඔය තරම් ශුවර් කරල කියන්නෙ?"
"මාත් ඔය වයසෙ කෙල්ලෙක් වෙල ඉඳල තියනව.."
"ඩේට් කරපු කොල්ලව බය කළා ද?"
"හ්ම්.. බය කරපු විදියට එක සෙමෙස්ට එකක එක්සැම් ලියා ගන්නත් බැරි වුණා ඌට"
"පව් යකෝ"
මිහිරත් සමඟ එකතුව සිනාසුණත් එරන්දගේ විමසුම් ඇස මවෙත වැටී තිබිණි. ඒ අනිවාර්යෙන්ම විභාගය ලියා ගන්නට නොහැකි වූ එක්ස් කවුදැයි අසා ගැන්මට ය. එය දන්නා බැවින් මම හැකි තරම් ඔහු මගැර සිටියෙමි. අචල ආවේ හොඳටම දවල් වූ පසු ය. ආ ගමන් කාටදො වට්සැප් පණිවුඩ යවන්නට පටන් ගත්තේය.
"මේ අර ස්පා එකේ කෙල්ල මට දිගටම මැසේජ් කරනවානෙ"
"ඉතින්"
"ඔයා හිතන්නෙ ඇයි බිම්මා ඒ ?"
"දැන් ඔයා මොන වගේ උත්තරයක් ගන්නද මගෙන් අහන්නෙ?"
"ඒ කියන්නෙ.. මට ඕනෙ කෙල්ලෙක් ගෙ ඇහෙන් මේක දිහා බලන විදියක්"
"මෙහෙමයි , ඔයාට ඕක දෙවිදියකින් මට උත්තර දෙන්න පුළුවන්. ඔයා කැමති එක කෝක වෙයිද නම් දන්නෙ නෑ"
"කියන්නකො බලන්න"
'සමහරවිට එයාට ඔයා එක්ක ශෙයා කරපු නයිට් එකේ තිබ්බ ප්ලෙශ එක හේතු වෙන්න පුළුවන්..එහෙම නැත්නම් ඔයා හොද අත්තක් කියලා හිතලා එල්ලෙන්න බලාගෙන එෆෙයා එකක් හදාගන්න ඕන වෙන්නත් පුළුවන්.. එහෙම නැත්නම් මටයි එරන්දටයි සිද්ධ වුණා වගෙ ආදරයක් කරන්න උවමනා වුණා වෙන්නත් පුළුවන්"
"හ්ම්ම්ම්"
"ඕවයින් එකක් තමයි ඉතින් කෙල්ලෙක්ට හිතෙන්න පුළුවන්"
"ඔයා ආයෙ කොයි කාලෙ වගෙ ද ලංකාවට එන්නෙ"
එරන්ද මදෙස බැලුවේ විස්මයෙනි.
"පොඩ්ඩක් ඉන්න..මූ කොහාමද කියන්නෙ ඔයා ආයෙ ලංකාවට එනවමයි කියලා"
"ඇයි ? බිම්මා ඉතින් මේ වගෙ ප්‍රොජක්ට්ස් වලට රටෙන් රටට යනව නෙ කොහොමත්"
"හරී. ඒත් මෙයා ආයෙ ලංකාවට එයිද?"
අචල මදෙස බලා හිස ඇළ කළේය. වැඩිමනක් කතා කිරීම තේරුමක් නැතැයි අඟවා මා ගුවන් තොටුපළට ළඟා විය යුතු වෙලාව ඇසුවේය.
"උඹ බිම්මව ඩ්‍රොප් කරනව නෙ.. "
එරන්ද හිස සැලුවේ ය. ඒ නැතැයි කියන්නට බව මම දනිමි. එහෙත් අචල ඉන් පැටළුණි බව පෙනිණි.
"එතකොට කොහොමද මේ ළමය යන්නෙ?"
"මං කැබ් එකක් දාන් යනවා"
"අඩේහ් මේ එහෙම හරියන්නෙ නෑ"
"නෑ.නෑ. මං ආවෙත් එහෙම නෙ. ඒක අවුලක් නෑ.."
"බිම්මා, මේ ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද මට මෙන්න මේ දෙයියන්ගෙ හාල් කැවිලා ඉන්න එකාට දෙකක් තුනක් හොඳ කුණුහරුප වලින් අමතගන්න දීලා"
මම එරන්ද දෙස බලා සිනාසුණෙමි.
"මං තව වැඩ ටිකක් කරගන්නෝන ගායිස්.. මං යන්නද එහෙනම්.. ?"
"පිස්සුද බිම්ම .. කාලා යන්නකො"
"නෑ නෑ.. තව දේවල් ටිකක් තියෙනව අරන් යන්න.. "
මම එරන්ද දෙස බැලුවෙමි. ඔහු විස්සෝපයෙන් බලා සිටින්නේය. සමුගැන්මකට කොහෙත්ම සුදානම් නැහැ වාගේ ය.
"යන්න දෙන්නෙ නෑද මට?"
"යන්න දෙන්න තමයි හදන්නෙ"
"ඔහොම බුම්මන් ඉන්න එපා "
"පරෙස්සමින් අපාට්මන්ට් එකට ගිහින් මට කෝල් එකක් දෙනවද?"
මම කමුබන් රෙස්ටොරන්ට්හි පිරිසෙන් සමුගත්තෙමි. /එරන්ද මා සමග පාරට පැන කුලිරියක්ද නවත්වා දුන්නේය.
" යන්න හිතන් ඉන්නෙ කීයටද?"
"හයිවේ එකෙන් කටුනායකට කෙලින්ම යන්න පුළුවන් හින්ද පැය තුනක් තියලා ගියානම් ඇති.. හයට විතර යනවා"
"හා එහෙනම් මට කතා කරන්නකො "
එරන්ද මොනවා කිව්වත් ඉන්නේ දරාගන්නට බැරි දුකකින් බව මම දනිමි. පාර අයිනේදි මුහුදට මුහුණලා දුන් හාදුවේ බර පපුවේ ගොඩ ගැසිණි. ඇහිදාර වල ඒ බර එල්ලිණි. ඒවා ඇහි කවුළු වලින් බේරේවියි මා බියෙනි.
අතරමගදි සපුරා ගන්නට යෙදුණු කාර්යන්ද අහවර කරගෙන මා අපාට්මන්ට් එක වෙත ආවේත් නිවසේ අයිතිකරුවන් කී පරිදි අපාට්මන්ට් කාර්යාලයෙහි කෙනෙකුට යතුරු භාර දෙන්න යොදා ගත්තේත් එබැවිනි. නර්මදා හමුවන්නට උවමනා වීද වෙලාව මදිය. කොහෙමා වුණත් එරන්දට හොරෙන් පණිවුඩ යැව් බව දැනගත් පසුව හිතේ තැනක නර්මදා ගැනත් අවුලකි. දුකකි. එය කිසිම තේරුමක් නැති. හැඟීමකි. ඉරිසියාවකි.ක්ලේශයකි.
ඌබර් රියක් වෙන් කරන්නට සිතාගෙන සිටියදී එරන්ද මට කතා කළේය.
"මොකද වෙන්නෙ?"
"ලෑස්තියි ඔක්කෝම.ඌබර් එකක් බුක් කරගන්න කියල බැලුවෙ"
"එපා"
"ඇයි?"
"මං පහල ඉන්නෙ"
මට කතා කරගන්න වචනද සොයා ගනු නොහැකි වීය. එරන්ද එතැයි සිතුණේම නැත..
"මං උඩට එන්නං.. බිම්මා…"
"ආ…"
"ලිප්ස්ටික් ගාන්න එපා හොඳද?"
මට සිනා නැඟිණි.ආත්තමයි වෙලාවකට මේ දඟකාරකම් නම් ! ගමන් මළු සුදානම් කර ඇත. මාද සුදානම් වී ඇත.ගෙදර සීනුව වාදකරගෙනම එරන්ද ගෙට ඇතුල් වුවේය.
ආගමන් හැසිරුණු විදියට ලිප්ස්ටික් නොගාන්නැයි කියන්නට හේතුව හමුවිණි.
"ආයෙ එනකම්"
අපි ගමන් මළු ඔසවාගෙන පහළ වාහන අංගනයට ආවෙමු. යතුර ඉල්ලා ගනුණ ඉසුරුත් ආවේය. සියල්ල රියට පටවාගෙන අවසානයෙ කටුනායක බලා පිටත් වීමු.
ප්‍රේමයේ සංධ්වනියක් වැයෙන රියකි. සුවඳවත් සුවඳකරකයකි. තද වාසුසමීකරණ සීතලකි. හිතැතුලෙහි යමහල් දරාගත් දෙදෙනෙකි. පිපිරුම්කාරක ප්‍රේමයකි. නිශ්ශබ්දතාවයකි. නිතර දොඩනා නයිටිංගේල් කිරිල්ලකි. ඇයටද වචන අමතක වී ඇති සෙයකි.
"පාලු හිතෙයිද.. ?"
"ආයෙ එද්දි මට හයියෙන් සින්දුවක් දාන් යන්නෝන.. "
"ඔයාට එහෙදි මාව මතක් වෙයිද?"
"සැදී රන් අබරණින් ක්ලිප් එකක්ම මං ගාව තියෙනව"
"ඒව නං මොනවද"
ගුවන් තොටුපළට මෙහායින් තැනකදී ආයෙ ආයේද අපි එකිනෙකා ගෙන් වෙන්වෙනු නොහැකිව බලා වැළඳ හදවත් වලින් ඇමිණී සිටියෙමු.
"ඩිපාචර් එකට එන්නෑ මං"
"හ්ම්"
"ඔයා බෝඩ් වුණාම කෝල් එකක් දෙන්න"
"හ්ම්"
"හැමදේම කල්පනාවෙන් කරගන්න"
"හ්ම්"
"මං යන්න ද?"
"හා.. ගෙදර ගිහින් නිදාගන්න..මං එහෙට ගිහින් කතා කරන්නං"
"ඇත්තටම ද?"
"මොනාද?"
"කතා කරනවාමද?"
"ඇයි අනේ එහෙම අහන්නෙ?"
"මට දුකයි"
"හ්ම්"
"බිම්මා.."
"ම්ම්"
"මං දන්නවා ඔයා මට පට්ටම ආදරෙයි කියලා"
"ඒ ඇති මට"
සාමාන්‍ය වෙන්ව යන පුරවැසියෙකු මෙන් මමද ලක් පොළොවෙන් වෙන්ව යාම ගැන විස්සෝප වූවෙමි. වෙන කිසි දිනෙකත් ලංකාව අතැර යාම පිළිබඳ මෙයාකාර වේදනාවක් මට දැනී නැත.මම දුකෙන් පසුවෙමි. තැවෙමි. අතැර යා නොහැකි අඩි පහයි දහයාමාරක් විතර උස පහලොවහමාරක කොලර් සයිස් එකක් ඇති හුරුබුහුටි කොලුවෙකුගේ පපුවක මැද ගැහෙන හදවත් ගුලියක් වෙනුවෙන් මම තෘෂ්ණාවෙන් පසුවෙමි. මගේ හදවත කුඩා නගරයකි. එරන්ද එහි නගරාධිපතිවරයාය.අවශේෂ චරිත කොපමණක් සිටියද ඔය ආදරය එක් විශිෂ්ට විශේෂතාවකි.
අප අවසානයට වෙන්ව යා යුතු තැනදී ඇත්තමයි පපුව ඇවිළිණි. ඒ වැළඳ ගැන්මේ තිබු උණුසුම එපමණකි. අපමණකි. මම හැරී බැලුවෙමි. ඔහු සිටියේය. තව දුරකින් බැලුවෙමි. එතැන ඔහු නොසිිටියේය. යන්න ඇති. දුකෙන්මනෙ හිටියෙ.
මම ගුවන් යානාවට නැගෙන්නට නියමිත ඉසව්වට විත් එරන්දට ඇමතුමක් ගතිමි.
"යනව ද ?"
"හ්ම්"
"කියන්නෙවත් නැතුව"
"මං ගිහින් නිදාගන්නං"
"හාං"
"මං යනෙකාට මැසේජ් එකක් දාලා යන්නම්"
බෑග් එක බිමින්තියාගෙන මම අනිකුත් විදේශිකයින් මෙන් බිමින් හිඳගෙන සිටියෙමි. ඒ අතර නර්මදා මට කතා කළාය. ඒ ගුවන් ගමන ගැන අසන්නට ය.
"එරන්දට ගත්තා මං කෝල් එකක්"
"එතකොට?"
"මූ කිව්වනෙ.. මං බිම්මාව ඩ්‍රොප් කළා කියලා"
"එයා නැත්නම් අචල මාව ඩ්‍රොප් කරනවයි කියල හිටියා.ඒත් මං ඌබර් එකක් දාගන්න හදත්දි එරන්ද ආවා"
"ඒක නෙ වෙනදට උඹ මට හරි කියනව නෙ"
"උඹ තනියම ඉන්න කාලෙ වගෙ නෙමෙයි නෙ දැන්.. පොඩ්ඩන්ගෙ වැඩයි අරවයි මේවයි.. මට ඉතින් කරදර කරන්න හිතෙන්නැ"
"දැන් ආයෙ ඉක්මනට එනව ද?"
"ඒව කියන්න බෑ ඉතින්.. වැඩක් වැටුණොත් තමයි. අතින් වියදම් කරන් ආයෙ එන්නැහැ"
නර්මදා මගේ හොඳම යෙහෙළිය ලෙස නම් කළ හැකිව තිබූ හැඟීම වෙනස් වී ඇත.ඕ එරන්දට කතා කිරීමේම යටි අර්ථයක් ඇත.එරන්ද නර්මදාට අඟවන්න උත්සාහ කර ඇත්තේ අප අතර වෙන විදියක සම්බන්ධතාවක් ඇතැයි කියා ද? මොනවා උනත් මට එහි යම් සතුටක සේයාවක් කාන්දු වෙමින් දැනෙයි.
ගුවන් යානය පැමිණි බවත් අසුන් ගැන්වීමට ගුවන් සේවිකාවන් පැමිණි බවත් මට දැකගන්නට ලැබිණි. මම එරන්දට කතා කළෙමි. ඔහු සිටියේ ගීතයක් අසමින් බව මට පසුබිමින් ඇසුණි.
"බෝඩ් වෙන්නද යන්නෙ?"
"ඔව්"
"මට පාළුයි මැණික"
එරන්ද කීවේ බර හඬකිනි. දුක ඇවිත් ගෙළ හිර කර දමයි. මේ සමුහය ඇසුරේද අනේ ඉතින් මටත් මහා තනිකමක් දැනේ.
"මාත් මෙ ගියාට හිත ඇත්තටම ඔයා ළඟ තියල යන ගමනක්. කවදාවත් ලංකාවෙන් යද්දී මෙහෙම හිස් හිතකින් ගිහින් නෑ මං.. ඒත් මං දන්නවා එරන්ද.. දැන් මේ ලොකූ … ලෝකයක් ඇතුළෙත් එක තැනක එක මනුස්සයෙක් මට ආදරෙයි කියලා. මාව මතක තියාගෙනම ඉන්නවා කියලා..'
"එක පුංචි මනුස්සයෙක් බිම්මා.. ඔයාට පණ වගේ ආදරේ කරනවා."
"මං ෆ්ලයි කරන්න ගන්නකොට ආයෙ කෝල් එකක් දෙන්නං..ඔයා දැන් කොහෙද හයිවේ එකෙන් එළියෙද?'
"මං? මොන… මං එයාපෝට් එකේ රනවේස් පේන තැනක ඉඳං බලන් ඉන්නවා. ඔයාගෙ ෆ්ලයිට් එක යන්න යනකම්ම"
මම සුසුමක් හෙළුවෙමි.
"ඉතින් මං කොහොමද ෆෝන් එක තියන්නෙ.. "
"ඔයා ඔතන වැඩ ටික කරගන්න.. මට බලන් ඉන්න පුළුවන්"
"කොච්චරක් කල් ඉන්න පුළුවන් කියලාද ඔය කියන්නෙ?"
"ආයෙ එනකම්ම.. මේ මෙතනින් පටන් ගන්න බලාපොරොත්තු පැක් එකක් උස්සන් මම මීට පස්සෙ හැමතැනම ඇවිදීවි"
"එහෙම එපා එරන්ද.. මං හැමදාම හිතන්නෙ ඔයාගෙ සතුට ගැන.. මට ඕනෙ ඇත්තටමයි ඔයා හිනාවෙලා ඉන්න.. ඔයා සතුටින් ඉන්නෙ වෙන කෙනෙක් නිසා නම් ඇත්තමයි මං ඒත් තරහ නෑ.. "
"සතුට තියෙන්නෙ ඔයා එක්ක ගෙවපු කාලෙ බිම්මා. ඒ මතක වල.."
"ආයෙ එහෙම කාලයක් එයිද නොඑයිද කියන්න ඇත්තටම මං දන්නෙ නෑ.. ඒත් මං එහෙම කාලයක් මට ලැබුණ එක ගැන ස්තුතිවන්ත වෙනවා"
ගුවන් යානය ඉහළට එසවෙන්න අවසාන නිවේදනයද පැමිණි පසු මම දුරකතනය විසන්ධි කළෙමි.එරන්ද මෙබිමේම කොතැනක හෝ මා රැගෙන මේ පක්ෂියා පියාසර කරනු බලා හිඳිනු ඇත.
ප්‍රේමය හැමවිටම පරිත්‍යාගශීලී විය යුතුයැයි මට කියා දෙන්නේ කවුරුන් ද? ඔව්. මට ඒ නයිල්ස්ය කියන්නට ප්‍රමාණවත් සාක්ෂි නැත. ඒ මින්පෙර මෙවැනි අත්දැකීම් වලට මා මුහුණ දී නැති බැවිනි.
ගුවන් ගමනෙහි ඉහළ ආකාසයෙදී මට නින්ද ගියේය. යළි මා ඇහැරුණේ සංග්‍රහ වේලාවන් උදෙසාය. මා හිස්ය. ඔව්, දැන් මට එය දැනෙන්නට පටන් ගෙන තියේය. මා මගෙන් ඈත්ව ගොසිනි. මගේ ආත්මයේ හැම පිරීගිය තැනක්ම එරන්ද ගේ මතකයන් සමඟම මගෙන් නික්මී ගොසිනි. ඒවා මගේ මව්රටේ කොතැනක හෝ රැඳී ඇති.

No comments:
Post a Comment