#DT 07
"මායි හිමකරයි විතරයිනෙ වාහනේ යන්නෙ.. මෙහෙට වෙල ඉන්නෙක තේරුමක් නෑනෙ.. යං මේ දවස් දෙක ගෙදර ගිහින් ඉදලා ආයෙ අපි එනකොට එන්න පුලුවන් නෙ"
ඒඩ්න් කීවේය.
"බංග්ලෝ එකෙත් අර පිස්සු යක්කු දෙන්න විතරනෙ ඉන්නෙ .." ඒ කීවේ කුට්ටන් සහ චන්ද්‍ර ගැනය. දැන් මෙහෙන් පිටවුනත් ගෙදර යද්දී මැදියම් රැය වෙන බව විශ්වාස ය. කොළඹ ඉද්දිත් උදේ ගෙදරින් ගිහාම පාන්දර පහට ගෙදර එන ගැහැනු ළමයෙකු ව සිටි කෙනෙකුට එය අරුමයක් නොවේ.
"ඒඩ්න් කියනව .. ගෙදර යන්න පුලුවන් කියලා ඕගොල්ලො එක්ක"
"ඔව්.. පුලුවන් නේන්නං"
" කමන් නැද්ද එහෙනං.."
"කමන් නෑ බං.." හිමකරද කීවේය. මම බංග්ලෝ එකට ගොස් නොගෙනිහින්ම බැරි අඩුමකුඩුම කිහිපයකුත් බැක්පැක් එකට දමාගෙන ඉක්මනින් ආවෙමි. මා එනතෙක් කාර්යාල මිදුලේ කිහිප දෙනාම සිටියේ මග බලාගෙනය.
" පුලුවන් තරම් ඉක්මනින් මෙයාව මෙහෙ කොහෙ හරි තැනකට පංගරාර්තු කරන්න ඕනෙ ඒඩ්න්.. මේකි ආව දවසෙ ඉදල බංග්ලෝ එකේ බොන්න නෑ"
" මටත් එන්න බැරි වුනානෙ අප්ප.."
චාරුදර පසෙකට වී මේ සියල්ල බලා සිටියේය. හෙමින් මා ළගට ආවේය.
" මං හිතා හිටියෙ වීක් එන්ඩ් එකේ ඔයාට ගම පෙන්නන්න එක්ක යන්න.. "
" අනේ.. ඉතින් ඔයා කිව්වෙවත් නෑනෙ"
" කමක් නෑ ඔයා පරෙස්සමින් ගිහින් එන්නකො"
" අපි ලබන සතියෙ යං ..හොඳද.."
ඒඩ්න් චාරුදරව විනිවිදන සුලු බැල්මක් හෙලනු මම බලා සිටියෙමි. හිමකර අතින් සන් කර අඩගැසුවේය.
" මොකෝ කොල්ලව දාලා යන්න දුකයි වගෙද.. එක්කං යං .." හිමකර එසේ කියද්දී චාරුදර ගේ මුහුණේ මස්පිඩු වෙනස් වෙනු පෙනෙයි. මම සිනාසෙමින් ඔහුගේ උරහිසට අත තබා රියට නැගුනෙමි.
" මොනා කිව්වත් මෙයාත් පොඩි ලව් එකක ඉන්නෙ චාරුට.." හිමකර විහිළුව දුරදිග ගෙනයයි. ඒඩ්න් ද මැද කන්නාඩියෙන් මදෙස බැලුවේ සිනාසෙමිනි. රථය පාර දිගට කෙමෙන් ඇදී එයි. මම කවුලුවෙන් පිටත බලා හිදිමි. හිමකරත් ඒඩ්නුත් නොයෙක් මාතෘකා ගැන කතා කරති. ඒ අතරෙ ඒඩ්න් ගේ පැරණි පෙම්වතිය ගැනත් එතැනින් එහාට කලාව සාහිත්‍ය වේදිකා නාට්‍ය ගැනත් චිත්‍රපටයක් නිශ්පාදනය කරන්නට ගොස් ඒ නිළිය ඒඩ්න්ට හමුවු විදියත් ඔහු නොවලහා හිමකර හා කියාගෙන ගියේය.
" මෙතන ගෑනු ළමේක් ඉන්නවා "
මා හඩනගා කීවේ මාතෘකාව ටිකක් විනීත භාවයෙන් ඉවතට යද්දී ඇත්තටම ඒ දෙදෙනාට මා මෙතැන ඉන්නා බව අමතකවු ස්වරුපයක් ගත් හින්දාය. උස දේවදාර කැළැවක් අයිනක රිය නතර කරන්නැයි කී හිමකර අතේ ඇගිල්ලක් පෙන්වා යමක් අගවා දේවදාර කැළයේ සැගවි ගියේය. ඉතිරි වුයේ මාත් ඒඩ්න් නුත් පමණකි.
"ඔයා යන්නෝන කොහෙටද?"
"රණාලට"
" එහෙනම් අපට පරණ පාරෙන් ගිහින් ඔයාව දාලා.. පස්සේ හිමාව බස්සන්න වෙනම යන්න වෙනව"
"නැ නැ.. මාව කලු අග්ගලින් දාන්න.. මං යන්නම්.. "
" තව පැය හතරක් යද්දි හොදටම කළුවර වෙනව.. ඔයා කොහොමද තනියම බස් එකක් එනකම් ඉන්නෙ.."
" ඒක ගාණක් නෑ.."
" බලමුකො හිමකර එක්ක කතා කරල"
ඇත්තටම එතැන සිදුවුයේ ඒඩ්න් මගේ බලාපොරොත්තු බිද දැමිමකි. මට උවමනා වුණේ ගැහැනු ළමයෙක් ට එහෙම තනිපංගලමේ රස්තියාදු වීම සුදුසු නැතැයි ඒඩ්න් කීමත් එය එහෙම නැති බව කියා පුහු වීරත්වයක් ආරෝපණය කරගෙන ස්ත්‍රිවාදි රගපැමක් එතැන කිරිමත්ය. ඒ බලාපොරොත්තු ව කඩවිණි. ඒඩ්න් තඹසතේකට එය ගණන් නොගත්තේය.
"හිමා .. අපි කොහොමද යන්නෙ?"
" මං කලුඅග්ගලින් බහිනව. ඒඩ්න්ට පුලුවන් නෙ රණාලෙන් කෙල්ලව දාගෙන යන්න"
මා හිමකර දෙස පුදුමයෙන් බලා සිටීම දුටුවේ ඒඩ්න්ය. ඒ මැද කන්නාඩියෙන් මදෙස බැලු නිසාය. ඒ මොහොතේ ඒ මුහුණේ අපුරු සිනාවක් ඇඳිණි. හරියට නිකම් "දැන් හරිද " වැනි එකකි.
" ඉතින් මාව බස්සල ඔය දෙන්නට යන්න බෑද"
" අයියෝ ආපහු මාව ඇරලන්න එන්න ඕන නෑ. අනික මං කොල්ලෙක්නෙ.. කෙල්ලෙක් මාව උස්සන් ගියොත් මිසක් වෙන අතුරු ආන්තරාවක් වෙන් නෑ මට"
එතැනින් එහාට මේ පිරිමි ආකෘතින් දෙක සමග කතා නොකර නිදා ගැනිමට මම තීරණය කළෙමි. උත්‍රා අක්කා එවන වට්සැප් පණිවුඩයක ටිකික් හඩකින් ඔවුන්ගේ කතාවට බාධා වූ තැනකදී " මොකාද තීනු ඔය තමුසෙගේ කොල්ලාදැයි " හිමකර ශබ්ද නගා ඇසුවේය.
"අක්කා අනේ .. මොන කොල්ලෙක්ද" මා නිදිමතේම කීවේ ඇත්තෙන්ම ඒඩ්න් ඉදිරියේ ඊට වඩා ගැහැනු ප්‍රතිරුපයක් පවත්වා ගන්නට මා හිතාගත් උත්සාහයද අමතක කරවමිනි. මේ හැම සංවාදයකදීම මැද කන්නාඩියෙන් ඒඩ්න් මදෙස බලන්න නම් අමතක කළේ නැත. ඒකත් ලෙහෙසි පහසු මනමාල බැල්මක් නොවේ. තේරුම් ගන්න අපහසු තීරණාත්මක එකකි.
මා ඇද සිටියේ සුදු පැහැ උරපටි සහිත බ්ලවුස් එකක් සමග කලිසමකි. මගේ දකුණු උරහිසේ අයිනක කුඩා රතු ඉන්දියානු මුහුණක ටැටු එකක් කොටා ඇත. ඒ ටැටු එක කොටන්නට මුලික වුයේ එතැන වු උපන් ලපයකි. එය පෙනුමෙන් තරමක් ලොකු සහ සලකුණු ස්වරුපයක හැඩය ගත් එකකි. එය වැසෙන්නට ටැටු එකක් අඳිමුයි යෝජනා කළේම තාත්තාය. අපේ තාත්තාගේ මොඩර්න්මය ආකල්ප වලින් මගේ සිත්ගත් ඔය කාරණාවට මා එක පයින් එකග වුයේ ඒ වෙද්දිලටැටු අදින්නට කැමති මගේ යෙහෙලියන්ට තිබු බලවත්ම ප්‍රතිරෝධය වූ පවුල මට එසේ නොවීම නිසාය.
" තීනු ගෙ ටැටු එක මාරයිනෙ.." හිමකර කීවේ හදිසියෙනි. ඒඩ්න් සුපුරුදු බැල්ම බැලුවේය.
" කොහෙන්ද තීනු ඒක ඇන්දෙ.. "
" තාත්තිගෙ යාළුවෙක්.. ෆොරින් ආටිස්ට් කෙනෙක්.. "
" තාත්තිගෙ…?"
ඒඩ්න් එය පුනර් උච්චාරණය කළේ පුදුමයකිනි.
"තාත්ති ටිකක් වෙනස්.. ටිකක් මොඩර්න්.. "
මම සෙමෙන් කීවෙමි. තාත්තා වෙනස් මිනිහෙකි. ඔහු සැරපරුශ කෙනෙකු වු බව හැබෑය. එහෙත් ඔහු මා දැකි වෙනස් කෙනෙකි. ඔහු සටන් කලාවකට හුරු කෙනෙකු විය. ඔහුගේ සිරුර නම්‍යශීලිය. ශක්තිමත්ය. කාලයක් තිස්සේ ව්‍යායාම වල නියැළිමෙන් සහ සටන් කලා ප්‍රගුණ කිරිමෙන් හැඩය.
" අපි මේක ඉස්සරහට අරන් යන්න ඕනෙ.. " මට අවුරුදු අටේදී ඔහු මට ඔහුගේ සටන් කලාවේ මුලික සංකල්ප උගන්වන්නට පටන් ගත්තේය. අවුරුදු දාසය වන විට මම ඒ සියල්ල ප්‍රගුණ කර සිටියෙමි. හොද සිහියෙන් සිටියදී නම් මට අනතුරකින් බේරීමේ ශක්තිය තිබිනැයි අම්මාද යම් තරමකට විශ්වාස කළේද එබැවිනි.
"අපි දැනගන්න ඕනෙ … අපේ රේජ් එක පාලනය කරගන්න.. ඒක වෙනම ශක්තියකට කන්වර්ට් කරල මුදාහරින්න.. ඒකට මේක හොද ඔප්ශන් එකක්.. ඔයාට දරාගන්න බැරි කේන්තියක් එන තරහක් එන කලකිරිමක් අපේක්ෂා භංගත්වයක් ඇති වෙන ඕනම වෙලාවක ඔයා හිස් නිදහස් තැනකට ගිහින් මේවා පුරුදු වෙන්න.."
"අපේ රේජ් එක" ඔව්! ඒක අපේ නටන උණුවෙන ලේ නහර වල ප්‍රශ්නය කි. ස්වභාවයෙන්ම කේන්තියන පරම්පරාවකට අප අයිති යැයි තාත්තා කී බැවින් මමද එය විශ්වාස කළෙමි. අපේ පරම්පරාවට පුලුවන් කමක් තිබ්බා ඕනකමක් තිබුණා නම් ලංකාවෙ රජ වෙන්න.. තාත්තා නොයෙක් වර එසේ කීවේය. තාත්තා මියයාාමන් කාලයකට පසු මම අම්මාගෙන් ඒ ගැන ඇසුවෙමි.
" ඇත්තටම අපි මොකක් හරි රජ පෙළපතකින්ද පැවත එන්නෙ.. ?"
"ඒක නම් මං දන්නෙ නෑ.. හැබැයි ඔයාගෙ තාත්තලාගෙ මුතුන් මිත්තන්ට උවමනාවක් තිබුණා නම් එයාලට තිබුණා හමුදාවක් වුනත් ගොඩනගාගෙන ඒ රජ පෙළපත්වලට විරුද්ධව ෆයිට් කරල රට අල්ලගන්න.. හැබැයි මං හිතන්නේ නෑ.. ඔය තියෙන හදිසි කේන්තියට රටක් පාලනය කරගෙන ඉන්න පුලුවන් වෙයි කියලා නම්"
අම්මා සිනහවී කීවාය. ඇය තාත්තාගේ පරම්පරාව ගැන කිසිවිටෙකත් පුරාජේරු කතා නොකළාය. ආඩම්බර කම් නොකීවාය. එහෙත් ඒ ගැන දුක් වුයේද නැත. අඩුම ගණනේ තමන්ගේ ස්වාමියා ගේ අනුවණ කළමනාකරණය නිසා අහිමිවි ගිය ධනස්කන්ධය ගැන හෝ ඕ නොතැවි සිටියාය. තාත්තාගේ මරණයෙන් පසු අම්මා තැවුනා නම් තැවුණේ මා ගැන පමණය.
" මට මේක කියන්නකො අම්මි.. ඔයා තාත්තිගෙ හැම දරුණු ගතිගුණයක්ම ඉවසුවෙ ඒ තාත්තිගෙ හැටි කියලා හිත හදාාගනද නැත්නම් මේක මං ලබා උපන් හැටි කියලා හිත හදාගෙනද?"
අම්මා සිනාසුණාය. මට ඇගේ හිත විනිවිද දකින්නට තිබුණා නම් කියා සිතුණේ එවෙලේය.
" ඔයාගෙ තාත්තිව මුණගැහිච්ච මුල්ම කාලෙ මං එයාට කැමති වුණේ හරියට වශියකින් වගේ. එයා හරි පුදුම පර්සනැලිටි එකක් තිබුණ මිනිහෙක්. මං ඒ කාලෙ ඇවරියවත්ත පැත්තෙ ගාමන්ට් එකක වැඩ කරන දුප්පත් ම දුප්පත් කෙල්ලෙක්. සාමාන්‍ය පෙළ විභාගෙ ප්‍රථිඵල එන්නත් කලිනුයි මම ගාමන්ට් එකකට ආවෙ හම්බ කරන්න. මං පුරුදු වෙලා හිටියා ආදර කතා තියෙන පත්තර කියවන්න.. මං ඒවා ගත්තෙ සෝන් එකට කිට්ටුව පත්තර විකුණන පොඩි කඩේකින්.. "
අම්මා කියාගෙන ගිය කතාව පිලිබඳ මතකයට මා යා වෙමින් සිටියද ගැස්සී ඇහැරුණේ වාහනය අධික ලෙස හෙළවීම හේතුවෙනි.
" මොන ….ක්ද " තඩි නොසරුප් වචනයක් කියැවුණේ ඒඩ්න්ට නොවේ. හිමකරටය. ඕවා ඉතින් සාමාන්‍ය සිංහල වාග් කෝශයේ පවතින ඒවා බැවින් මට එහි මහාලොකු වෙනසක් නොදැනේ. ඒඩ්න් මෙන්ම හිමකරත් වාහනයෙන් බැස්ාස් සිදුවුයේ කුමක්දැයි පරික්ෂා කරන්නටය.
වාහනයට හසුවෙන්නට ගොස් බේරුණු කුඩා බලු පැටවෙකු තුරුලු කරගත් ජිප්සි පෙනුමැති ගැහැනියක් පාරේ අයිනක වැතිර සිටියාය. ඕ මිමිණුවේ මොනවාදැයි හරිහැටි තේරුණේ නැතත් ඇගේ බියපත් ඇස් ඒඩ්න් වෙතටම යොමුවී තිබිණි. මා රියෙන් බැස එදෙසට යත්ම ඇගේ ඇස් මා දෙසට හැරිණි. කාලයකිනන් නොපීරු නිසාද මන්දා කැරළි ව ඇලි ගිය ඇගේ හිසකේ ඇගේ ඇස් බැල්ම අවුල් කර දැමීය.
" ප්‍රාර්ථනා ව!"
ඕ මදෙස බලා එසේ කීවාය. ඇගේ ඇස් වලත් ඇය දමාගෙන සිටි බොහිමියානු විලාසිතාවට බර මාල කරාබු වලත් ඇගේ අභිගුණ්ඨික ගත්ය පෙනිණි. මම ඇයට මගේ අත දිගු කරද්දී ඕමගේ අත දෝතින් බදා ගත්තාය.
" මගේ මේ ජීවිත කාලය ඇතුළේ ඔයා දකින්න ලැබෙයි කියලා මම නම් කවදාවත් හිතුවෙ නෑ.. ඒත් ඔයා දන්නවා නේද … ඔයා හොද පරෙස්සම් වෙලා ඉන්නෝන…"
මොහොතකින් ඕ දේවදාර ගස් අතරෙදී සැගව ගියාය.
"මේ ෆයිනස් කැළෑ අස්සෙ මොන මොනවගේ මිනිස්සු ජීවත් වෙනවද මන්ද.. ඒ.. තීනු.. ඒ ගෑනි මොනවද අර ඔයාට කිව්වෙ.. හරියට එයා කාලයක් තිස්සෙ ඔයාව බලාගෙන හිටියා වගෙනේ"
හිමකර කීවේ නොසැලකිල්ලෙනි.
"මං අදයි ඒ මනුස්සයව දැක්කෙ… මේ අන්දකාරෙ ඒ මනුස්සය වෙන කාටහරි රැවටිලා වගෙයි"
ඒඩ්න් මදෙස බලා සිටියේය. ඒ බැල්ම විචක්ෂණශීලී එකකි.
"ඒ ගෑනු කෙනා අයිති මේ හරියෙ ජීවත් වෙන ජිප්සි විශේෂයකට.. සාමාන්‍යයෙන් පන්සල් දේවාල අයිනෙ සාත්තර කියන කැටගරියට අයිති නැති වුනාට එයාලට තියෙනව එයාලගෙ අනන්‍යතාව ක්.. එයාල රිප්රසන්ට් කරනව මේ පුරාණ ගම්.. ගම්වල මිනිස්සු .. ඒ මිනිස්සුන්ගෙ විශ්වාස … අනාවැකි..
ඒ අය කාලයක් මේ බිම්වලට කඩා වැදුනු මිනිස්සුන්ව කෑමට ගන්න.. අපි උන්ව විලෝපිකයො කියමු.. එහෙම විලෝපිකයොන්ගෙන් කැලැ සත්තුන්ගෙන් සැහෙන බැටකාපු මිනිස්සු ..
ඒ මිනිස්සුන්ට විමුක්තිය ගෙනේවි කියලා විශ්වාස කරපු පුංචි ගෑනු ළමයෙක්ට තමයි ඒ මිනිස්සු ප්‍රාර්ථනා ව කියල කියන්නේ .. එයාලා විශ්වාස කරනවා අඳුර හැම විටම පවතිනවාය.. කාලෙන් කාලෙට හෝ ප්‍රාර්ථනා ව එයාලා වෙනුවෙන් ආලෝකය අරන් එනවාය කියල"
මට සිනාවක් නැගිනි. ජීවිතය තියෙන්නේ මා තුල අහුමුල්ලකට තල්ලු වී ගෙනය. මටවත් මා ගැන බලාපොරොත්තු නැති කාලයක අනුන් වෙනුවෙන් ආලෝකයක් දල්වන්නට හැකි ප්‍රාර්ථනාව මා වෙන්නේ කොහොමද? එය නොසැලකිලිමත් ව බැහැර කළ හැකි සිදුවීමක් විය.
කලුඅග්ගල දී හිමකර රියෙන් බසින විට සඳ මුදුන් වී තිබිණි. ඒඩ්න් රිය මගකවු අවන්හලකට හැරවීය.
" බඩගිනි ඇතිනේ ඔයාට.. අපි මොනා හරි කාලා යමුද…"
"අම්ම උයලත් ඇත්තෙ.."
"කොෆි එකක් බීලා යමු.. මට නිදිමතයි.."
ඒඩ්න් සුපුරුදු ලෙදර් ජැකට්ටුව ගලවා දමා සිටි අතර සැහැල්ලු රවුම් කරැති ටී ශර්ටයට ඔහුගේ වැඩුණු සිරුර පිරිපුන්ව ශක්තිමත්ව පෙනිනි. ඔහු මවෙත අසුනක් ඇද හිද ගන්නට ආරාධනා කළේ විනීත ආකාරයකිනි.
" බ්ලුබෙරි කේක්.. " මා කියද්දී ඒඩ්න් ට සිනාවක් නැගිණි. මේතරම් පහන් දැල්වෙද්දී වුව ඒ සිනාවට ආලෝකයන් ඉහිරෙන්නට පටන් ගති.
" මේ වගේ වෙලාවක බ්ලුබෙරි කේක් කන කෙල්ලෙක් එක්ක මං කවදාවත් ම කොෆි එකක් බීලා නෑ.."
" එහෙනම් අද ඔයාගෙ ජර්නල් එකේ ඒක ලියලා තියා ගන්න.."
" මටත් දැන් හිතෙනව තීනු.. ඔයා නම් ජර්නල් එකක ලියලා තියලා අනාගතයට අරන් යන්න තරම් වටිනාකමක් තියෙන ගෑනු ලමයෙක් කියලා.."
" අර ජිප්සි අක්කා මාව ප්‍රාර්ථනා වක් කළාට පස්සෙ …"
" නෑ.. එහෙම නොවුණත්.. ඔයා නිකම්ම නිකම් ගර්ල් කෙනෙක් වුනත්"
" මාව දන්නවා නම් ඔයා එහෙම කියන්න හිතන්නෙවත් නෑ"
ඒඩ්න් සිනාසෙමින් නැවත වාහනයට ආවේය. වචනින් නොකී බොහෝ දේවල් ඒ සිනාවේ තැවරී තිබුණේය.
පැරණි පාරෙන් වාහනය වමට හරවා ගෙදර ගේට්ටුව අසල නතර කළ විට මම අඩියට දෙකට ගෙදරට පැනගත්තේ ඒඩ්න් ට යන්නම් කියන්නටවත් වැඩිය පමා නොවෙමිනි. අම්මා ඒඩ්න් ගැන අලුත් සැකයක් ගොඩ නගා ගත්තොත් මා ආයේ ප්‍රාර්ථනාවක්වී හෝ එ දෙවදාර ගස් පිරි නුවරට ගොස් හමාරය.
.jpg)
No comments:
Post a Comment