#DT 08
අම්මා සාදා තිබු මාළු ඇඹුල් තියලත් රතු ඉදි ආප්පත් පොල් මැල්ලුමත් දුටු විට මට සතියක් පුරා නොතිබු බඩගින්නක් දැනිණි. ඇය මා ළග දැවටි දැවටි මට කවන්නට පොවන්නට වෙහෙසුණාය.
"මං ගාව නිදියනවද?"
අම්මා අහද්දී මට දැඩි කම්පනයක් දැනිණි. අම්මාට මා නැතුව පාලු ඇති.
"මං දන්න කීපදෙනෙක්ටම කිව්වා ඔයාට මෙහෙන් හොද ජොබ් එකක් බලන්න"
" අම්ම දන්නවනෙ.ඉතින් මට ජොබ් එකකට යනකොට කොයි කොයි විදියෙ ප්‍රශ්න තියෙනවද කියලා.."
"ඒවා විසදෙයි තීනු. මං කැමති නෑ ඔයා ඔයතරම් දුර කාත් කවුරුත් නැතිව රස්සාවක් කරනවට.."
" මං එනගමන් මතක් කර කර ආවෙ අම්මිගෙයි තාත්තිගෙයි ලව්ස්ටෝරි එක.. අර පත්තර කඩේ ළගදි ..මොකද වුණේ"
අම්මා මද සිනාවක් නගනු ඇසිණි.
"එයා නළුවෙක් වගේ ලොකු බයික් එකකින් ඇවිත් මං දිහා බලා ඉදලා බලා ඉඳලා මං බෝඩිමට යද්දි මාව ෆලෝ කරන්නත් පටන් ගත්තා. මං ඒ කාලෙත් ජීවිතේ ගැන බය කෙල්ලෙක්.මං ආවෙ පුංචි ගමකින්නේ. ගමක කෙල්ලෙක් ගාමන්ට් ආවාම ආයෙ පරෙස්සම් වෙලාලගමට යනවා කියනෙක ලොකු අභියෝගයක්.. මං ඒ නිසා පිරිමි සම්බන්ධ කාරණා වලදි හරි බයෙන් හිටියෙ"
අම්මාගේ ගතිලක්ෂණ මගේ චරිතයේ නැත්තේ මන්දැයි මට ඒ මොහොතේ පුදුම සිතිනි.
" පස්සෙ තාත්ති බෝඩිමේ අක්කා එක්ක කතා කළා. ඒ කතා කරල ඒ අක්කා හරහ තමයි මට කතා කරන්න වෙලාවක් හොයා ගත්තෙ. එක වෙලාවක මම ඔයාගෙ තාත්තිට මහ අමුතු හැගීමකින් ආදරෙන් බැඳුනා. ඒ බැඳීම මරණය තෙක් එහෙමම තමයි.. "
"තාත්තිත් එහෙමද.."
" ඔව්.. තාත්ති හරිම සැර දරදඩු මනුස්සයෙක් තමයි.. ඒත් එයා කවමදාකවත් වෙන ගෑනු කෙනෙකුට ආදරේ කළෙ නෑ. එයා ආදරේ කළ එකම කෙනා මමයි. මට රිදුණු වෙලාවල් වැඩි. එහෙම වෙලාවල තාත්ති මට වැඩියෙන් ඒ ගැන දුක් වුණා.. ඔයාලගෙ පරම්පරාවෙ අයට ආදරේ කරන ගෑනුන්ට වගේම පිරිමින්ටත් ඒ දුක උරුමයි. ඒත් ඒක ආදරයටම බැඳුනු එකක්.. "
අම්මාගේ වචනත් තාත්තාගේත් ඇගේත් ආදර කතාව අස්සේ මට තාත්තාගේ බියගුළු සියදිවි නසාගැනීම ගැන අසන්නට සිත්විය. එය අම්මාට අළුත් රිදුමක් එකතු කරතැයි මට නොහැගණේ තාත්තා පිලිබඳ අම්මා ඉතිරි කරගෙන සිටියේ ප්‍රේමණීය මතකයන් පමණක් බැවිනි.
"ඇයි අම්මි.. තාත්ති එහෙම සුසයිඩ් එකක් කරගත්තෙ?"
අම්මාගේ සුසුමක බර වාතළයට එකතු විණි.
"එයා සුසයිඩ් කරගත්තා නෙමෙයි.. ඇත්තටම එයාගෙ ඇගට යමක් විස වුණා. ඒක මිනීමැරුමක්.. "
මට දැනුණේ මගෙ හදවත පසාරු කරගෙන ඇගේ වචන කිඳා බැස්සාක් මෙනි.
"ඇයි අම්මි.. මෙහෙම කට වහගෙන ඉන්නෙ අපි? ඇයි අපට පොලිසියට යන්න බැරි?"
"එකක් අපට ඔප්පු කරන්න විදියක් නැති නිසා.. අනික් එක ඒ විස ශරිර ගත වුණාට පස්සෙ ඔයාගෙ තාත්තා තීරණයක් විදියට එයාගෙම අතින් එයාගෙ බෙල්ල කපා ගෙනයි මැරුණෙ. ඒත් ඒකත් එක්ක ජීවත් වෙන්න එයාට බැරි වුණා. එයා මරණය තෝර ගත්ත"
"මොකක් එක්කද එයාට ජීවත් වෙන්න බැරි වුණේ"
" ඒක ඔයාට දැනගන්න වෙලාවක් එනව. මං ඒක එතකොට කියන්නම්"
" මේ අපි අතරෙ වෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට අයිති නැති දේවල්ද අම්මි. ඇයි අපි අතරෙ මෙච්චර පුදුම දේවල් සිද්ධ වෙන්නෙ.. ඇයි අපි අවට සාමාන්‍ය දේවල් සිද්ධ වෙනවා අඩු"
"මං වටේ නම් සිද්ධ වෙන හැමදේම සාමාන්‍ය යි.. මට ඉන්නවා අසාමාන්‍ය ගෑනු දරුවෙක්.ඒ ඇරෙන්න අනික් හැමදේම හරි සාමාන්‍ය යි මට නම්"
අම්මා එතැනින් එහා කිසිවක් කතා කරන්නට අකමැති වු අතර ටික වෙලාවකින් ඇගෙ හුස්ම ගන්නා රිද්මය සාමකාමි ළයාන්විත ස්වරයකට හැරිණි.
මා පසුවදා ඇහැරුණේ පමාවෙමිනි. කිලුටු ඇදුම් කිහිපය අම්මා සෝදා වැලට දමා තිබු අතර කුඩා ඉඩකඩක් ඇති ගෙමිදුලේ මල් වවන අම්මා ඉන් නොනැවතී ඒවා අලෙවියට ද ඉදිරි පියවරක් තියා ඇති බව මම දුටුවෙමි.
" දැන් ඔයා මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුගෙ බිරිඳක් වෙලා හිටිය අත්දැකිමුත එකතු කරගෙන සුලු පරිමාණ ව්‍යවසායිකාවක් වෙන්නද හදන්නෙ”
"මං දැනටම එහෙම කෙනෙක්"
"ඒඩ්න්.. අර මං ඊයෙ ආව වාහනේ අයිති කස්ටම.. එයාලා නර්සරිස් කරනවා. මං අම්මිට එහෙන් පොඩි ප්ලාන්ට්ස් ගේන්නංකො.. එයාලා බ්රිඩින් කරල නිව් වැරයිටිස් එහෙමත් හොයාගන්නව ටිශු කල්ච ලැබ්ස් වල.. "
"ඒවා මෙහෙ පරිසරයට කොහොමද වැඩෙන්ාන කියල අහන්න.. නිකම් අපරාදෙනෙ මල් ගෙනල්ල මරලා දානෙක"
මා ආයෙ කාමරයට යද්දී දුරකතනයට පැමිණි මිස්කෝල්ස් ගණන පහකි. දෙකක් ඒඩ්න් ගෙනි. අනික් තුනම හිමකරගෙනි. පළමු ඇමතුම මා ගත්තේ හිමකරටය.
" මොකද කරන්නෙ යෝදියෙ?කීපාරක් නම් කෝල් කලාද?"
"ගෙදරනෙ. ෆෝන් එක කොහෙදෝ.. මං කොහෙදෝ ඉතින්"
" රෑට එලියට යංද?"
"අද?"
"ඕ.. හෙටත් නිවාඩුනෙ.. ඒඩ්නුත් එන්නං කීවා. අපි රෑ අවුටින් එකක් ගිහින් හෙට දවල් වෙනකම් නිදාගෙන නැගිටලා හවස් වෙද්දි ඒඩ්න් එක්කම යමු"
"ඒඩ්නුත් කතා කරල තිබ්බ.. ඒක කියන්නද?"
"ඔව්"
" මට පැයක් දෙන්නකො.. මං ටෙක්ස්ට් එකක් දාන්නම්"
මුව අගට නැගුන සිනාවක් එක්ක මගේ යටිහිතේ ජීවත් වෙන පැරණි කෙල්ල එළියට පැන්නාය. බොහෝ කාලයකින් ආයෙමත් අත්විඳින්නට බැරිවුණු සමාජ ජීවිතය ට ඇදෙන්නට ඇති ආසාව මගේ බෙල්ලෙන් අල්ලා ගත් අතර ඉන් පසුව ගෙවුණු පැය ගණනම ගෙවුණේ හිරවුණ බෙල්ලක් ඇතිව අසීරුවෙන් හුස්ම ගනිමිනි.
" පාටි එකක් තියෙනවා කෙල්ලෙක්ගෙ.. බර්ත්ඩේ එකක්.. "
"ඉතින්..?"
"ගිහින් එන්නං නේ අම්මි. මං කාලෙකින් යාළුවෙක් එක්කවත් කතා කළෙ නෑනෙ"
" ගෙදර ඉන්න දවසෙ දෙකේවත් ඔයාට හිතෙන් නැත්ද අම්මි එක්ක ටිකක් ඉන්නෝන කියලා"
" අද දවල් දවසම හිටියානෙ. හෙටත් දවල් දවසම ඉන්නවා .."
" මං ඔයාගෙ රෑ ගමන් ගැන බයයි තීනු.."
" වැඩිය හිතන්නෙපා අම්මි.. ඔයා දන්නවා පරෙස්සම් වෙන්න ඕන හැමදේම තාත්ති මට උගන්නලා තියෙනව කියලා.. "
" ඒත් තාත්තිට පරෙස්සම් වෙන්න බැරි වුනා තීනු.. ඔයාලගෙ ඇග ඇතුලෙම ඔයාලට අනතුරක් තියෙනව.. ඔයාලගෙ ඔය කන්ට්‍රෝල් කරගන්න බැරි කේන්තිය .. ඉවසීමක් නැතිකම.. නොසන්සුන් කම.. ඕවා ඔයාලට අනතුරු ළං කරල දෙනව. මට ඉන්නෙ එක දරුවයි. ඔයා විතරයි දැන් මගෙ හැමදේම "
"බය වෙන්නෙපා අම්මි.. මං එකොලහ විතර වෙද්දී ගෙදර එනවා"
ඒඩ්න් මගෙන් දුරකතන ඇමතුමක් හෝ කිසිම ප්‍රතිචාරයක් නැති තැන මා සමග කතා කිරීම අතහැර දැමුවාක් මෙනි. මම නිකමට හායි කීවත් එය බැලුවත් ඔහු ගේ වට්සැප් තිරය මා වෙනුවෙන් කිසිවක් ලියැවුණේ නැත. එහෙත් ටික වෙලාවකට පසු මගේ දුරකතනය ඒඩ්න් ගේ ඇමතුමකින්ම සෙළවෙන්නට පටන් ගත්තේය.
" ඔයා ඉතින් එකට ආපු කොල්ලව උන්නද මළාද කියලා බැළුවෙ නෑනෙ"
ඒක ඒඩ්න්ගේ පෞරුෂය ට නොගැළපෙන මට්ටමේ හුරතල් නෝක්කාඩුවකි. මං වුනත් එහෙම කළේ නැත්තේ එය ඔහුගේ වෘත්තිමය හැසිරිමට නොගැළපෙතැයි සිතාගෙනය.
"මං දැනගත්ත ඔයා කිසි ප්‍රශ්නය ක් නැතුව ඩෙස්ටිනේශන් එකට රීච් වෙයි කියලා"
" එහෙනම් අදත් ඒ විශ්වාසෙම තියාගන්නකො. මොකද කියන්නේ ? මං එන්නද ඔයාව ගන්න"
"අම්මිට මං කීවෙ කෙල්ලෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක් කියලා.."
" ප්‍රශ්නය ක් නෑ. ඔයාව ගන්න ඕන වෙලාව කියන්නකො"
මම හැන්දැවට වගේම රැයටද මැද වෙලාවක් කීවෙමි. සාමාන්‍යයෙන් අදින පාටි ඇදුමකට උඩින් ආවරණය ක් ඇදගත්තෙමි. එ අම්මා නොමග යැවිමටය. ඒඩ්න් මා එනතෙක් රිය ගෙදරට මදක් එහායින් නවත්වාගෙන සිටියේය.
"හිමා එතනටම එයි.."
රාත්‍රි වේගවත් ජීවිතය තුළ වන තාවකාලික සතුට ජීවිතයේ සදාකාලික වේදනාවන් ටික වෙලාවකට හෝ ගිල දමයි. කැරකෙන දුම් වළලු පෙණ නැගෙන බීම වීදුරු ඒවායේ නිමවීම් පිරවීම් .. ඒ අතරේ රිද්මය.හදවතේ ස්පන්දනය වැඩි කරන රිද්මය.. බීම වල මත් බව ට වේගවත් වන මොළයේ ක්‍රියාකාරිත්වය ..ඊට සමපාත ව රිද්මයට සෙළවෙන දෙපා.. එකිනෙකාගේ ඇගේ හැපෙන මිනිස්සු .. ඒ අතරේ ඇගේ වෙළෙන ජෝඩු.. ගැහැනුන්ගෙන් සහ පිරිමින්ගෙන් තමන්ව ආවරණය කරගන්නා අඳුරු අහුමුලු.. මේ සියල්ල අතරේ ජීවිතය ගැන සියළු සංවේදනා එක පෙළට මතක් කරගෙන හුදකලා මේසයකට නළල ඔබා ගන්නා මං වාගේ බීමත් බේබදු ගෑනු ළමයි..
"බිව්වම මට වැඩියෙන් ම මතක් වෙන්නෙ රන්දිකව.. මං දන්නෙ නෑ ඇයි ඒ මිනිහව මට මතක් වෙන්නෙ කියල.. " හිමකර මගේ වම් උරය පිරිමැද්දේය. පිරිමින්ගේ අත් වල උණුසුම වෙනස් ය. ඒක රන්දිකගේද නැත්නම් හිමකරගේද , ඒඩ්න්ගේද කියන එක වැදගත් නැත. ඔය කාගේ උනත් මේ වගේ වෙලාවලට ඒක අනවශ්‍ය වදයක් එකතු කරන්නේය. ඒක වදයක් කීවාට මිහිරි ආනන්දජනක වදයකි. අන්න ඒ හැගීම හිතට නොගන්නට මං වාගේ බීමත් බේබදු කෙල්ලන් පරෙස්සම් විය යුතුය.
" තමුසෙ තාම ඌට ලව්.." හිමකර කීවේ මට සමාගමයට සගයෙකු උවමනා නිසායැයි සිතුණ නිසා විය යුතුය.
"ලව්..?"
මා හයියෙන් සිනාසෙන්නට ඇත.
"මාත් එක්ක නිදාගත්ත විදියත් වට්සැප් ඕඩියෝ චැට් වල කියවලා මාව රටක් ඉස්සරහ මයිනස් ගණන් වලට ඇදල දාපු එකාට මං ලව් කියලද ඔයා කියන්නේ ?"
"ආදරේට ඔය මොන කොහෙම්මලක් වත් බලපාන් නෑ.. ආදරේ කියන්නේ ආදරේ..ඒක උගෙ පැත්තෙන් තිබ්බද මං දන් නෑ.. හැබැයි තමුසෙ උගෙ මොකකට හරි ඉස්ම යන්න බැඳුනා.. ඒකයි ඒ.. බිව්වම මතක් වෙන්නෙ ඒකයි. මට වුනත් හොදටම වැදුනම මං මේ ලෝකෙ වැඩියෙන් ම ආදරේ කරන ගෑනිව මතක් වෙනව. කොහෙද දන් නැ දැන් ඉන්නෙ..කාත් එක්කද දන් නෑ.. කොච්චර හිතනවද හොදින් ඇති කියලා.. හොදින් ඉන්නෝන කියල.. ඒ තමයි ඉතින් ආදරේ…"
ඒඩ්න් අප අසලට ආවේය. මට මොහොතකට ඒඩ්න් ගේ වැඩුණු උරහිස්, රවුම් ඇස් මැද හුදකලා වෙන්නට හිතෙයි. ඒවායේ පිරිමි ගතිය කොහොමත් වැඩියි. බීපු ගෑනියෙකුට හැගීම් දැනෙනවා වැඩි වෙන්නත් පුලුවන් . කෝකටත් ඒඩ්න් ගෙන් ඈත් වෙලා ඉන්න එක. ඒ වගේ ආරාධනා පිරෙන රාත්‍රින් වලට ආරක්ෂා සහිතයි.
මා ගොඩනැගිල්ලෙන් පිටතට ආවේ තනිවය. අතේවු සිගරැට්ටුව ඔහේ දැල්වෙද්දීය. වාහන නවත්වන බිම නවත්වා ඇති වාහනයකට හේත්තුවී මම ඔහේ අහස දෙස බලා හිඳිමි. සිහින් දුම් උගුරකින් දෙකකින් මා තුල වන සමතුලිත බව බිදිමි. යළි හදා ගනිමි. අහස නිල්වන් සාරි රෙද්දක් සයුරේ න් ණයට අරගෙන වාගේය. එහි තැනින් තැන තරුද ගළපා තියේ. පොහොය පසුවී ඇත. හඳ සම්පුර්ණ නැත. හඳ පිරෙන දවසට පපුව වේගයෙන් ගැහෙන්නට පටන් ගනී. මේ ඒ ගතිය නිවීගෙන යන දවස්ය. විශ්වයේ රසදිය රසායනය ක්‍රමයෙන් තුලනය වෙනවා ඇත.
මා සිටි තැනට ඉදිරියෙ නවතා තිබු විශාල වාහනයක හෙඩ්ලයිට් දැල්ාවන්නට පටන් ගත්තේ මගෙ මුහුණ ඉලක්ක කරගෙනය. මා හිදගෙන සිටි තැනින් නැගිට්ටද විදුලි එලිය ඇස් වලට වැදීමෙන් ඇස් වල පෙනීම මුලුමනින්ම නැතිව ගියාක් මෙන් දැනෙයි. ඒ එළි අස්සෙන් මිනිස්සු න් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු මා අසලට එනු පෙනිණි. මම මා අසල තිබු රථයට හේත්තු වුයේ කිසිවක් දැක හදුනාගැනිමේ උවමනාවෙනි.
කිසිවෙකු ගේ ශක්තිමත් බාහුවකින් මගේ ගෙළ සිරවිණි. දෑත තද විණි.
"උඹ තාම හරියට වැඩිල නෑ.. කොයි වෙලාවක හරි උඹට උඹේ ඇගෙන්ම දැනගන්න ලැබෙයි.. උඹ ඒකට ලෑස්තියි කියලා..අන්න එතකොට උඹට තේරෙන්න පටන් ගනී.. ක්ලබ් ගානෙ බිබී නාස්ති කරගෙන යන මේ ජීවිතේ උඹට කොච්චර වටිනවද කියලා.. උඹට විතරක් නෙමෙයි මේ මුලු මිනිස් සංහතියටම.. වැඩක් නෑ.. උඹගෙ ඇගෙන් ලේ ටිකක් එකතු කරල බැලුවොත් ..ඒක තනිකර මත් ගුහාවක්.. උඹලගෙ තාත්ත උඹව මෙහෙම හදල කළෙ මොන අපරාධයක්ද මන්ද"
තදින් හසුවුණ මගේ අත් බාහුවකට ඉන්ජෙක්ෂන් කටුවක් ඇනෙනුද සිරින්ජරයකට ලේ පුරවා ගනුද මා දුටුවද මට එයට විරුද්ධ ව කිසිවක් කරගත නොහැකිවූයේ මා මත්පැන් වලින් අඩපණව සිටි බැවිනි. ඒ සමගම ගැළවුම්කාරයා මතුවිණි. ඒඩ්න් ආවේ කොහෙන්ද කියා මට මතක නැත . උන්හිටිගමන් ඔහු එතැන පහළ වුයේය.
අතේ වු සිරින්ජර කටුවද එහෙමම දමා අර මිනිසුන් පැන දුවනු ද පෙනිණි. උන්ට එතරම් වේගයෙන් පැන දුුවන්න ඒඩ්න් කළ කිසිවක් ගැන මට පැහැදිලි මතකයක් නැත.
"බය වෙන්නෙපා.. I got you.."
කියා ඔහු මාව දෝතින් බදා ගත්තේය. ඇස් වල නිලංකාර ගතිය ක්‍රමයෙන් අඩුව ගියේ විදුලි ආලෝකයන් වාහන ලයිට් එලි සාමාන්‍ය අතට පත්වු බැවිනි. මම සිරින්ජර කටුව ඇද්දෙමි. එහි පිරී තිබුණේ තද රතු පැහැති ඕ පොසිටිව් වර්ගයට අයත් මගෙ රුධිරයයි.
ඒඩ්න් අසාමාන්‍ය ලෙස අසරණ ව ගියේ එය දැකීමෙනි..
"ප්ලීස්.. ප්ලීස්.. තීනු ඒක අයින් කරගන්න.. මට ලේ දකින්න බෑ.."
පෞරුෂයකට කිසිසේත් නොගැළපෙන ඒ වගේ හැසිරීමක් මම ඒඩ්න් වෙතින් සිහි ඇති වෙලාවක නම් බලාපොරොත්තු නොවන්නටම ඇත. හොඳ වෙලාවට මා සිටියේද මත් ගතියෙනි. එබැවින් මම රථාංගනය කෙළවරක වු වැහිවතුර එක්ව ගලා යාමට සකසා ඇති හිඩැස් සහිත කොටුවකට එය අත්හළෙමි.
ඒඩ්න් නැවත මගේ අත් අල්ලා ගත්තේය.
" අපි එක්ක නෙ ආවෙ ඇයි ඔයා තනියම එලියට ආවෙ.. ගොඩක් වෙලාවකින් ඔයාව දැක්කෙ නැති නිසයි මං ඔයාව හොයන්න ආවෙ…ඒ මිනිස්සු ඔයාව අල්ලගෙන ඉන්නවා දැක්කෙ එතකොටයි"
" ඒකට කමක් නෑ… දැන් ඒක ඉවරයි..මං හිතන්නේ මං තව එක ඩ්රින්ක් එකක් ගන්නෝනෙ"
"නෑ.. තීනු.. ඔයා ගෙදර යනන්නෝන.. "
" කමක් නෑ… මං ඔයාගෙ වාහනේට වෙලා ඉදල කෙලින් ඉන්න පුලුවන් වුණාම ගෙදර යන්නං"
"හිමකරට මේ ගැන කියන්නැතුව ඉන්න පුලුවන් ද?"
මම නැවත ඒඩ්න් ගෙන් ඇසුවෙමි. ඔහු හිස සැලුවේය. ටිකක් ළගින් ඇවිදිමින් සිටියේය. සමහරවිට මා උන්හිටිගමන් බිමට සමතලා වේවියැයි බියක් තියෙන්නට ඇත.
"මට කාටවත් මේ සිද්ධ වෙච්ච දේ කියන්න ඕන නෑ.. ඒත් ඔයා මීට වඩා පරෙස්සම් වෙන්නෝන ගෑනු ළමය.. "
" මං බණ කියල හදන්න පුලුවන් එකෙක් නෙමෙයි කියලා දැන්වත් ඔයාට තේරෙන්නැද්ද?"
" ඒක නෙමෙයි.. ආයෙ .ඩ්රින්ක්ස් ඕන නෑ.. මං ඔයාව ඇරලවන්නද?"
" බෑ.. මට තව ටිකක් ඉන්නෝන"
කොහොමටත් ඒ වන විට ශරීරගතව තිබු මත් බවෙහි බලය උපරිමයට ළගා වුයේ පසුවය. ඒඩ්න්ට සිදුවෙන්නට ඇත්තේ මා ලෝක අමාරුවෙන් වත්තම් කරගෙන අපේ ගෙදරට ගෙන යන්නටය. අම්මා ඉදිරි දොර ළගදි එක්කෝ මගේ බර මාරු කරගන්නට ඇත. නැත්නම් ඒඩ්න් ට මාව ගෙන යන්නට ඉඩදී නිදන කාමරයට ඔහු පසුපසින් එන්නට ඇත.
මට නිකම් ලාවට වගේ
"මං හිතුව මේ ළමය දැන්වත් හැදිලා කියලා.. ආයෙත් පටන් ගත්තා කොල්ලොන්ගෙ කරෙන් ගෙදර එන්න.. "
අම්මා ගේ ආඩපාලි කීමද ඇසිණි. එපමණකි. අන්ධකාරය විසින් දෑසේ අයිතිය මුළුමනින්ම තමන් වෙත නතු කර ගත්තේය.
.jpg)
No comments:
Post a Comment