Thursday, November 17, 2022

Daffodil Terrace 18

 #DT



18 


"වෙන්වෙන්න් ඔනමයි කියල ඔයා හිතන්නේ ඇයි?"


මම චාරුදරව කතාවකට අල්ලා ගන්නට උත්සාහ කරමි. ඇත්තටම එක වෙලාවකට ජීවිතය අපහසු අගනුවරින් මෙහාට මේ දේවදාර උයනට සහමුලින්ම විතැන් වෙන්නට මට හිතෙන්නේ ඇයි? 


" සමහර ඩෙස්ටිනි ලියැවිලාම තියෙනවා.  එහෙම බැලුවාම මං කරන්නෙ වැරැද්දක් .."

"මොකද්ද වැරැද්ද?"

"ඔයාට මේ ළංවෙන එක.. ඔයාව … මගේ කරගත්ත එක.. මේ හැමදේම . මේවා මට අයිති දේවල් නෙමෙයි"


මේ වගේ වෙලාවලට ගැහැනු ළමයින් මුහුණ දීම සාමාන්‍ය දෙයකි. පිරිමියෙකු හා එකතු වීමකින් ඉක්බිති, ගැහැනු මගැර ගන්නට ඔවුන් දන්නා සෙල්ලම් දැමීම සාමාන්‍ය දෙයකි. 


"ඔචුචර ඕක ගැන හිතන්නවත් ඒක ගැන කල්පනා කරන්නවත් දෙයක් නෑ. මං ඔයාට කියන්නේ නෑ.. මායි ඔයායි එකට හිටියා අනේ මාව කසාද බදින්න..වගේ ප්‍රාථමික දේවල්. මෙතනදි අපි දෙන්නා අපේ කැමැත්තෙන් එකට හිටිය.ඒක එච්චරයි.. ඔයා හිතනවා නම් මං මේක බේස් කරන් ඔයාව කසාද බැදගෙන මුලු ජීවිතේම මගේ කරගන්න හදනවා කියලා.. චාරු, ඒක නම් හෙනම ගොබ්බ අදහසක් හොඳද? "


චාරුදර මදෙස බැලුවේය. නැගිට මෙතෙක් විවරවි තිබුණු කමිසයේ බොත්තම් දමා ගත්තේය. හෙල්මටය අතට ගෙන මදෙස කෙලින්ම බැලුවේය. 


"යමු.."

"නැ..නෑ.. යන්න කලින් මට උත්තර ඕනෙ.. ඔයා මාස දෙකක් කල් ඉල්ලුවට මං ලෑස්ති නෑ මාස දෙකක් බලාගෙන ඉන්න.."

"කරන්න දෙයක් නෑ.. මාස දෙකක් ඉන්නම වෙනවා.."

"ඒ කියන්නේ එතකම් මට ඇත්තටම මං කවුද කියනෙක හොයා ගන්න විදියක් නෑම කියලද ඔයා කියන්නේ "


චාරු මදෙස බැලුවේය. නොපිට හැරි තිබුණු අත් වාටිය සැකසුවේය. 


"මට බඩගිනියි.. මට මොනව හරි කන්න ඕනෙ?"

"මෙච්චර මගෙ ඔලුව කාලාත් ඔයාට තව බඩගිනිත් වෙනව නේද?"

"මං තාම කන්න තියා හිතලවත් නෑ ඔයාව.. "

"ඒක වෙන්න පුලුවන් … ඒත් මේ වෙලාවෙ මට ඔයා වෙනුවෙන් මොනවත් කරගන්න බෑ.."

"මොනවද පුලුවන් … "

"මට ඔයාට ආදරේ කරන්න ඕනෙ. වැරැද්දක් බව දැන දැන.. "

"ඒ කියන්නේ ඒ වැරැද්ද හරි ගස්සන්න ඕන වෙලාව ආවම ඔයා මාව අත් අරිනව කියනෙකනේ" 

"තීනු, .."

"මට මං කවුද කියනෙකලදැනගන්නෝන"

"ඒකෙ තේරුම ඔයාට මං, මගෙ ආදරේ එපා කියනෙකද?"

"නෑ"

"ඔයා මට ආදරේ නම් ඔයා දැනගන්නෝන මං එහෙම බව. මට ඉවසන්න බැරි බව.."

"හරි…  හ්ම්..  ෆුල් මූන් එකට තව දවස් තුනක් තියෙනව.. ඔයා ඩැෆඩිල් ටෙරස් එකේ පදිංචියට යන්නෙ කවදද"

"ඔයා මට ඒ රහස කියන්නේ කවදද?"

"කියන්න දෙයක් නෑ පෙන්නන්නම්.. "

"ඒ කියන්නේ ?"

"අනේ තීනු, ප්ලීස් .. දවස් දෙහෙකට ඉවසලා ඉන්න.."


මම හිස වනා නිහඩ වුවෙමි. චාරුදර සිටියේ කේන්තියෙනි. එනාතරමඟ වැඩි කතාවක් නැත. බංගලා කන්දේ පියපෙළ දිගට මා නගින තෙක් ඔහු පහලටවී ඔහේ බලාගෙන සිටියේය. එහෙත්, දුරකතන ඇමතුමක් හෝ නොදුන්නේය. චාරුගේ පැටලිලි ප්‍රහේලිකා මට තේරෙන්නේද නැත. ඔය තරම් උගත් වෙන්නට තිබුණා නම් මම සාමාන්‍ය පෙළ සහතික වෙනස් කරන්නට යන්නේද නැත. 


ඒ වුනත් , ඒ හැන්දෑ චමත්කාරය මට පමණක් අයිති නැති බව දනිමි. හිමකර සිටියේ ඉදිරි පස අවකාශයෙ ව්‍යායාම කරමිනි. ඔහු මා දැක මදකට එය නවතා දැමුවේය. 


"කොහෙද ගිියෙ …"

"නිකම් ඉතින්!"

"නිකම්… හාකො"


මා සිටියේ සැහැල්ලු සිතිනි. සම්බන්ධතා මිනිසුන් නිදහස් කරති. ඉහිල් කරති. සමහර විට චාරුටත් එය එහෙමම දැනෙනවා විය යුතුය. මා ආයේ කැම කාමරයට ආවේ කුට්ටන් හැන්දැවට අපට දෙන උණුසුම් කෝපි කෝප්පය වෙනුවෙනි. 


"මොකද වෙන්නෙ" ඒ ඒඩ්න්ය. ඔහු මගෙන් එදිනෙදා තොරතුරු විමසන්නට පටන් ගෙන දින කීපයකි. කොහොමත් ඉදිරියට අපි අසල්වැසියන් , අඩුම ගණනේ අසල්වැසි මහල් වල ජීවත් වෙන්නන් බවට පත්වීමටය නියමිත. එබැවින් මම ඔහුව පිළිගනිමි. 


"වී මේඩ් ඉට්"


මම එහෙම ටයිප් කළෙමි. මාත් චාරුදරත් අතරේ කිසිවක් සිදුවෙමින් පවතින බව ඔහු ⁣නොදැන සිටියා නොවේ. නොඅගවා සිටියා පමණකි. ටයිප්. කළ අකුරු ටික සෙන්ඩ් කරනවාද නැද්දැයි හිතන්නට මට මොහොතක් ගතවිය. ඒ අතරේ ඒඩ්න් කතා කළේය. 


"මං දන්නවා ඔයාට පාලු ඇති. මායි හිමායි විතරක් මෙහෙම අපේ කම්පැනි එකක්ලහදාගෙන ආතල් ගත්තට ඔයාව අපි එක්ක තියා ගන්නෙත් නැත්තෙ අපට ඒක පොඩ්ඩක් පුරුදු නැති නිසා. ඒකෙන් ඇඩ්වාන්ටේජ් එක ගත්තෙ චාරු. උගෙන් මං දකින්නෙ කුපාඩි කමක් වත් වල්කමක් වත් නෙමෙයි තීනු. මං දන්නවා එහෙම ඒවා ඔයාට කොච්චර හැන්ඩ්ල් කරගන්න පුලුවන් ද කියලා.. මට බයයි ..ඔය යකා ඔයාගෙ හිත කඩලා දාවි කියලා"


" අපි අතරෙ…"


"ඒක මට තේරෙනවා.. ඒත් ගොඩක් තදට චාරු ගැන හිතන්න එපා.."


ආදරය කියන හැගීම ඇතිවන්නේ කොයියම් මොහොතකදීදැයි විස්තර කිරීම පහසු නැත. දේවදාර ගස් අතරින් වහා මතුවෙන මතක අහුරක් ඉතිරි කර වෙන්ව යන උද්යෝගිමත් වහු පැටවාට මම ඇත්තෙන්ම බැඳෙමින් සිටියෙමි. ඔහු පෙළෙමින් සිටියේ මා අත්පත් කරගත නොහැකි වේදනාවකිනි. 


මම නිහඩ කන්දක්ව නිශ්චලව සිටිමි. දින තුනකින් පුර පොහොය එළඹීමට නියමිතය. පොහොය ට මුදුන් වෙන සඳ සමඟ විශ්වයෙහි රසායන සංයුතීන් වෙනස් වන අතර ඒවායේ කම්පනයන් අප අවට තිබෙන ධාරා කවයන්ට ඇතුල් වි අපටද බැලපෑම් කරන්නට පටන් ගන්නා බව අසා තියේ. 


චාරු ගේ දුරකතනය තිබුණේ විසන්ධි කර දමාය  ඔහුගේ කිසිම හිතවතෙකුගේ හෝ දුරකතන අංකයක් මා සතුව නැත. අඩුම ගණනේ පරෙස්සමින් ගෙදර ගියාය කියන්නට තරම් අනුකම්පා සහගතව කටයුතු කරන්නට ඔහුට මා කෙරෙහි ළතෙත් හදක් තිබී නැත. 


නිශ්ශබ්ද රාත්‍රි සිය දහස් ගාණකට පුලුවන් 

මට ඔයා ඉන්න ඉසව්ව 

සිතියම් ගත කරලා පෙන්වන්න. 

ඒත් .. මම තාමත් ඇස් නොඇරි කිරි දරුවෙක් වගේ 

නොඇසුනාසේ නොදුටුවාසේ ඉන්නවා


මං ආසයි… මේ පොළවේ තෙතබරිත පස් සුවඳට

ඔබ මාව සිපගත් උනුහුම්ම තැන 

අපේ සිරුරු වල සලකුණු ඉති⁣රි කර ගත් 

තෘණ පත්‍ර පොඩි වුන තැන් 

ආයෙ ආයෙම දකින්න… 


රතුපාට වෙච්ච රක පෝය හඳක් 

ආයෙමත් පායන්න ඔන්න මෙන්නයි 

මට මේ මතක සංහිඳේ හුස්මක් හෙළන්න

ඇස් පියාගෙන නිවි නිවි දිලෙන 

දේවදාර උයනම අයිති එකම තාරකාවිය වෙන්න

ඉඩ දෙන්න… 


"අමු….තුයි… තීනු…" හිමකරට ඉව තියේ. අප්පච්චියෙක් , නැත්නම් අයියා කෙනෙක් වාගේය. මා මෙහෙම අහේතුකව කල්පනා කරනු ඔහු දැක නැත. 


"ඔයාට මගෙ මොකක් හරි වෙනසක් දැනෙනවද?"

"හ්ම්"

"කියනවකො.."

"දුකෙන් වගෙ"

"හ්ම්හ්.."

"මොකද ඒ?"

"පොඩ්ඩක්.."

"ඒක තමයි..මොකද ඒ?"

"චාරුයි මායි පොඩි දේකට වචන පටලව ගත්ත"

"ඉතින්?"

"දැන් කතා නෑ.. ෆෝන් ඕෆ්"

"අනේ තීනු මේ, ඔය යකා හෙන පොඩි දේවල් ලොකු… කරන් බුම්ම ගන්නව.. පුප්පනව. වයසට නෙමෙයි ඔලුව.. ඔයාට ඔයි කැළැ යකා ලොකු වුනාට මට නං උගෙ කිසිම විශේෂ දෙයක් දැනෙන්නෙ පේන්නෙ නැහැ"

" එහෙම නෙමෙයි මේක ටිකක් සීරියස්"

"ඇත්තටම තමුසෙල දෙන්න අතරෙ මොකක්ද වුණේ?"

" දන්නැද්ද ඉතින්"

" ඔයාගෙත් … අනේ මන්දා.   මාර මාර චොයිස් තියෙන්නෙ…" එවර හිමකර කීවේ හයියෙන් සිනාවෙමිනි. 


"කොහොම හරි මට එයාව අනිද්ද වෙද්දි හොයා ගන්නෝන.."

"ඇයි අනිද්ද? පෝයනෙ?"

"මං එයාලගෙ ගමේ කෑම්පින් කරගන්න කතා කරගත්ත.. කොහෙද මේ මනුස්සය අදම තරහ වුනානෙ.."

"අනිද්ද ාවද්දි ඌ ශේප් වෙයි.. මොකෝ ඔප්පු තිරප්පු වලට ගහමරා ගන්නවයි කිලැයි 


එදා රාත්‍රීයේ අපි වේලාසනින් නින්දට ගියෙමු. කුට්ටන්ද වෙහෙස බව කීවේය.චන්ද්‍ර එදා බංගලාවේ නෛානැවතුන අතර තේවත්තක සුරුපි ගැහැනියක් ඔහු වෙනුවෙන් සිය යහනෙහි බලා සිටිනා බව කියා හිමකර නිරන්තරයෙන් විහිලු කළේය. 


වැස්ස එන්නට ඇත්තේ පොළව ට පොහොය ළඟ බව කියන්නය.ඉතින් මට මගේ සුරතලා අමතක නොවුවා නොවේය. පෙරදා රැයෙන් පසු ඌ නොආවේය. පුලුන් කොට්ට අත් පාද, ඒවායේ සගවා ගෙන සිටි උල් නියද වෙනම කතාවක්ය කීවේ. මට පුදුම මා ගෙදර ඉද්දී බුස් පැටවෙක්ටවත් ආදරය නොකිරීම ගැනය. 


රාත්‍රියේ මා ඇහැරුණේ කාගෙදෝ කෙදිරිලි හඩකටය. ඒ බංගලාවේ දොරට පිටතිනි. කුට්ටන් හෝ හිමකර අවදි වෙතැයි සිතුවාට ඔවුන් දෙදෙනාම මර නින්දේය. කලින් දවසේ අත්දැකිමෙන් හොදටම පාඩමක් ඉගෙන ගෙන සිටි බැවින් මම තනිව දොර නොඇර සිටියෙමි.


"කවුද? නෝනා.."

"දන්නැහැ"

“කවුරු වෙන්න පුලුවන් ද කුට්ටන්.."

"බලමු. "


කුට්ටන් ඉතින් යකෙකුටවත් බය නම් නැත. බංගලාවේ දොරට හේත්තුවී බිම දිගේ වැතිරෙමින් සිටියේ අනෙකෙකු නොවේ.  චාරුදරය. කලිසමද අඩක් ඉරී ගොස් තිබිණි. සිරුරේ තැනින් තැන සීරුම්ය. අඩ සිහියෙන් පසු වුවද සිරුරෙන් මතුවෙමින් තිබුණේ ගින්දරකි. 


" දෙයියනේ… මේ ළමයට සහලෝල උණ.  නෝනා, උදව් කරන්න පුලුවන්ද ..අපි අරන් යමු ඇතුලට. "


හිමකර කියන්නා වගේ පාලනයකින් තොරව කා බීද මන්දා මස්ගොබ දමා වැඩි හිදිනා චාරුදර, ඔසවා ගැනිම මට හෝ කුට්ටන්ට තනිව කළ නොහැකිය. දෙදෙනා එක්ව ඔහු වත්තන් කරගන්නට

 උත්සාහ කරද්දීද වින්දිතයාගෙන් කිසිදු අනුබලයක් නොලැබිණි. දිග අසුනේ චාරුදර වැටුණේ මලකඳක් වාගේය.කිසිම ප්‍රාණවත් බවක් ඔහු වෙතින් නොපෙනිණ. 


මම ඔරායන් බඳෙහි ඇති තාරකා ගෙනැවිත් වුවද, ඔබ සුවකරගමියි හිතෙන තරමේ ක්ශනික සිතුවිල්ලකින් වියරු වැටුණෙමි. එය පෙම්වතා පිලිබඳ නැගෙන ආකාරයේ ආදරයක්ද නැත්නම් අම්මා කෙනෙක්ට පුතෙකු ගැන දැනෙන ආදරයක්ද ඇත්තෙන්ම මා දන්නේ නැත. මට උවමනා එකම එක දෙයකි. චාරු, මේ දැන් ඇස් අරින්නට ඕනැය. සිනාවෙන්නට ඕනැය. මා කේන්ති ගස්වන්නට ඕනැය. 


මාත් කුට්ටනුත් දන්නා දන්නා හැම දේම කරන විට හෙමින් උණ අඩු ාවමින් තිබිණි. සීරුම් තැන් බෙහෙත් වතුරකින් පොගවා ඒමත කොළ වර්ගයක් තලා පිරියම් කළේ කුට්ටන්ය. ඒ මොනවාද මන්දා මන්ත්‍රයක්ද මුමුණමිනි. සෙමෙන් සෙමෙන්, උණ අඩුවී චාරු ඇස් අරින මොහොත එළඹිනි. 


ඒ මොහොත අයිති විය යුත්තේ මටය කියා මම බොළඳ පෙම්වතියක්ව සිතුවෙමි. පසුව "පිස්සුද ඕයි " කියා මගේම යටිහික බුද්ධිය පෙරදැරිව මා වළක්වන්නට කටයුතු යෙදුණේය. සන්නාහ සන්නද්ද වු ප්‍රේමයක් අතදරා සිටින හුදකලා රෝසමලකව මම චාරු ගේ දෙකම්මුල් දෝතින් අල්ලා ගනිමි. ඔහු හෙමින් නෙත් හැරියේය. ඉතිහාසයේ කිසිම දවසක නැති විදියේ උත්කර්ෂවත් හැගීමකින් මා ඒ මොහොතේ පිරීපයමින් සිටි අතර දීර්ඝ වගේම ගැඹුරු අක්ශි සම්බන්ධතාව ක් ගොඩ නැගෙමින් තිබිණි. 


ඒක සහමුලින්ම පටලැවීමකි. ඇසට ඇස භෞතිකව ගැටීමක් නොවේ. එහෙත් තවදුරටත් ඔහු මගේ ඇස් වලින් ලෝකය දකිමින් මා ඔහුගේ ඇස් වලින් ලෝකය දකින්නට සුදානම් වීමකි. පහසුවෙන් ගැහැනිය සහ පිරිමියෙක් ර ඇතිවෙන ආකාරයේ බැල්මක් නොවේ. 

ඒ ඇස්බැන්දුමත් සමග මට දැනුණේ අප මේ කඳු පන්ති අතර ඉහළ ආකාසයේ වලාකුළු අතරින් එක්ව ඇවිිද යාමකි. පහත විසාල තණබිම් කදුහිස් සානු පසුකිරිමකි. ජීවිතයේ වෙන්නට බැහැමයි හිතෙනාකාරයේ මායාවකට හසු විමකි. 


"නෝනා.." කුට්ටන් කතා කළේ මා පසුපස සිටගෙනය. මම ඔහු දෙස මැරි බැලුවෙමි. 

"කොල්ලට කවුරු හරි බන්දනයක් කරන්න හදලා වගෙයි. හැබැයි එයා ඒකෙන් අයින් වෙලා ඇවිල්ලා" රහසකි. ශබ්ද නොනගාය ඔහු කීවේ. 

"කවුද එහෙම කරන අය ඉන්නෙ මෙහෙ?"

"මෙහෙ ඉන්නවා පැරණි යක්දෙස්සො.. උන්ව මෙහෙන් ඈතට පන්නල හිටියෙ.  හැබැයි දැන් උන් ටිකින් ටික මතු වෙනව.  දේවදාර උයනෙ පැරන්නො විශ්වාස කරන්නෙ එයාලගෙ ප්‍රාර්ථනා ව ආයෙ පහල වෙච්ච කාලෙක යක්දෙස්සන්ගෙ සාප ඔක්කෝම ඉවර වෙනව කියල. "

" ඔයා කියන්නේ කුට්ටන්, දේවදාර උයනෙ මිනිස්සුන්ට සාපයක් තියෙනව කියලාද?"

"ඒවා කටකතා.. සමහර විට ළමයි නිදිකරන්න කියන කතාන්දර දිගේ හැදිච්ච ඉතිහාසය ක් වෙන්නත් පුලුවන් . ඒ වුනාට යක්දෙස්සො ඉන්නව. මං උන්ව දැකල තියෙනව. උන් හරි අමුතුයි … උන් දුර්වල ශරිර වලට පහර දෙනවා. ඒ ශරීර වලට ඇතුල් වෙන්න උන් දන්නව. ඒ නිසා අපට හරායටම මෙයාය යක් දෙස්ස කියල කියන්න බෑ. මොකද අපි උන්ව හොයාගෙන යද්දිත් උන් වෙන මනුස්ස ඇගකට මාරු වෙලා…"


එය ඇග කිලිපෙලා යන කතාවකි. චාරුදර මගේ ප්‍රතිචාර නිසා හිත දුර්වලව හිටියාද? නොවේනම් ,මේ කියන්නාවු  සංචාරක යක්දෙස්සෙක් චාරුදරගේ සිරුර අයිති කරගන්නට හැදුවාද? ඒ ඡේදය දේවදාර උයනට අලුත් එකකි. සංචාරක යක්දෙස්සන්.. උන් කොහොම ඇවිදින් මගේ නිරායුධ ප්‍රේම වත්කමට අත තිව්වාද?

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...