#DT
33
රාත්‍රි සමාජශාලාවක් කියන්නේ සත්ගුණවත් ශ්‍රද්ධා සම්පන්න බැතිමත්තු සැරිසරන තැනක් නොවේයයි ඔබ දැනටමත් දන්නවා ඇත. අනිත් අතට එවැනි මිනිසුන් පැමිණෙන සැරිසරන දෙවි දේවතාවුන්ද වැඩ සිටින පුජාභුමි වල හොරු මංකොල්ලකාරයින් පික් පොකට් කාරයින් සැරිසරන්නේ නම් එසේ ආශිර්වාද නොලත් තැන් තැන් වල යක්ෂයන් ප්‍රේතයන් සැරිසැරීම සාමාන්‍ය දෙයකි.
අප අවටත් ඔය කියනාකාරයේ ඉහළ පෙළැන්ති රස්තියාදුකාරයින් පිරිසක් රගමින් සිටියේ අවදානය ලබා ගැනීමේ උවමනාවෙනි. යම් කිසිවක් සිදුවීමට ඇති ඉව ගැන සැලකිලිමත් වෙමින් මම චාරුදරත් එතැනින් වෙනත් ඉසව්වකට ගෙන ගියේ එබැවිනි. ඒ ගැන අනික් අයගේ අවදානයෙන් බැහැර වුනත් විශේෂයෙන් අප ගැන සොයමින් අප අවට කැරකෙන එක් තරුණයෙකු ගැන මගේ ඇසට හසුවිය.මේ නම් දරුණු අනතුරකැයි මගේ හිත මට තදින් කීවේය. මම චාරුදරගේ අතින් අල්ලාගෙන පසෙකට ගියෙමි.
"අපි රුම් එකට යංද.."
"ඇයි ඒ ?"
"ටිකක් ඔලුවෙ කැක්කුමයි වගෙ"
චාරු වහා මගේ නළල මත අත තියා බැලුවේය.
"පොඩ්ඩක් රස්නෙයි ත් වගෙ"
"මේ සද්දෙත් දැන් අමාරුයි වගෙ.. "
"යං එහෙනම්.. අපිට මේ ෆ්‍රී්ක්වන්සි දරාගන්නත් අමාරුයි..කොහොමත්"
චාරුත් මාත් රාත්‍රි සමාජශාලාව බුෆේ එක ආදිය පැවති ගොඩනැගිල්ලට යාබදව පිහිටා ඇති නිදන කාමර ඇති ඉසව්ව වෙත සෙමෙන් ඇවිද ගියෙමු. ඒ වන විට හාත්පස නිහඩය. නිදන කාමර සහිත ගොඩනැගිල්ල වටා වැඩියෙන් ඇත්තේ ගහකොළ හෙවනැලි සහිත වටාපිටාවකි.
"පෙනඩින් දෙකක් ගමුද?"
"මං හිතන්නේ අපි ගාව නෑ…"
"අප්පා.. ඔයා වොශ් එකක් දාගන්නකො..මං ගිහින් ගේන්නම්"
මම වෙහෙස ඇසින් බැලුවෙමි. හිත ත් හිසත් එක විදියටම රිදෙයි. හෙට දහවලේ අප ආපසු දේවදාර උයනට යා යුතුය.ඖශධ පුජාව ඇරඹිය යුතුය. ඊලග පෝය දවසේ නන්නාඳුනන පිරිමියෙකුගේ මනමාලිය විය යුතුය.
චාරුදර හෝටලයෙන් පිටතට ගියේ ෆාමසියකින් බෙහෙත් කිහිපයක් ගෙන ඒමටය. ඇත්තටම මනුශ්‍ය යන නාමයෙන් වසා ගෙන ඉන්නා අපේ සම යට ඇති තිරිසන් ගති , මා කියන්නේ ම්ලේච්ඡ ගති ගුණ පමණක් නොවේ කැළැ වල ඇවිදිමින් නිදහසේ ජීවත් වෙන්නට කැමැත්ත ඇති වෙන සත්ව ගති පවා දැනෙන්නට පඉන් ගනී.
මම කාමරයට නොගොස් කාමර කොරිඩෝවේ ඇති කුඩා ලී ඉරි වලින් සාදා ඇති හාන්සි පුටුවේ. හිඳ ගත්තෙමි. ඈතින් ගොළු මුහුදේ ඝෝශාව තදින් ඇසෙයි. මට යාන්තම් වගේ ඇස් පියවී යනවා දැනෙන්නට පටන් ගනී. මෙහි ඇති ආරක්ෂාව පිලිබඳ ගැටළුව මගේ හිතින් සමනය වී ඇති ගතියක් දැනුණු නිසා මම හිතිමතාම ඇස් පියා ගනිමි. චාරුදරත් මාත් එක්ව ගෙවන අවසන් රාත්‍රි ය මෙය නේදැයි හිතට දැනෙන්නේ මහා වෙහෙසකි. මට උවමනා චාරුදර සමග යළි කවදාවත් නොඑතැයි හිතෙන රාත්‍රියක් ගෙවාදැමිමටය. ආදරයෙන් උමතු වීමටය. ඒත්.. එය කොතැනින් කෙළවර වේදැයි නොදනිමි. මේ රාත්‍රීන් දරුණුය. මට කිසිවෙකුගේ මුණු මුණුවක් දැනෙන්ට පටන් ගනී. අඩි හඩක් ඇසෙන්නට පටන් ගනී. මගේ හැබෑ මුහුණත මාරු කරගන්නට සිතුණද මම ඕනැම දේකට සුදානම් ව සිටියෙමි. එහෙත් අඩි ශබ්දය ළං ළං ව ඇසෙයි. කෝකටත් කියා මම ඇස් තදිින් වසා ගත්තෙමි. පසුගිය කාලයේම දේවදාර උයනේ ඉගැන්වීම් සහිත පොත් වල ඇති සිත නිවාගැනීමේ ශ්වසන අභ්‍යාසයක නියැළි හිදින්න මම උත්සාහ කරමි. හුස්ම ඉහලට ගන්නට පහතට හෙලන්නට ලැබුණේ කෙටි වෙලාවකි. මට එක වරම මගේ ගෙළ කාගෙදෝ ශක්තිමත් දෑතකින් වෙලී යනුත් නාසයට සැර ගඳක් දැනෙනුත් දැනිණි. එපමණක්ම පමණකි.
……..
හොඳටෝම දැවිල්ලක් දැනෙන ඇස්, ඇදුම්කන හකුපාඩා , සහිත භෞතික ශරිරයකට මා එකවර ඇතුල් වු අතර මෙතෙක් මා වටාවු දේවදාර උයනේ කැළෑ රොදෙහි මා ඇවිද කිය තෙතබරිත දුහුවිලි සුවද වැකුණු මහ පොළව , උඩ අහස බැලුවාම වියන් බැඳි තුරුහිස්, තැනින් තැන පියාසලනා කුරුලු පොඩිත්තන් සහිත මතක සමුදාය මගෙන් ගිලිහුණ බව දැනිණි. ඒ බරපතළ සිරගෙදරකයට. මට උවමනා ඇස් වලින් නිදහස් වෙන්නටය. මම වහාම ඇස් ඇරියෙමි. එවවිට ඇසුමට්ටමේ තිබුණේ රෝහල් කාමරයකි.
"මොකක්ද ්්උනේ?" කියා අසන්නට කෙනෙක් නැති තරමට නාදුනන මුහුණ මුහුණුය. මම චාරුදරව ඒ මුහු්නු අතර සෙව්වෙමි. නැත. කාන්තා පොලිස් නිලධාරිනිය මගේ තත්වය දැක මට සාක්ශි දෙන්න හැකිදැයි ඇසුවාය. මම ඊට හේතුව නොදනිමි.
"පේශන්ට් ඉන්නෛ කතා කරන්න වත් පුලුවන් තත්වෙකද කියලා නොදැන එයාගෙන් සාක්ශි ගන්න හදන එක වැරදියි මිස්"
වෛද්‍යවරයකු කීවේය. මම ඔහු දෙස කෘතඥ පුර්වක බැල්මක් බැලුවෙමි. පොලිස් නිළධාරිනිය මඳක් පසෙකට වුවාය.
"ඔයාට අන්තිමට මතක මොනවගේ දෙයක්ද?"
මම මතක තියෙන අන්තිම තැන සොයමි. අන්ධකාරය. නිදන කාමර කොරිඩෝව.. තැනින් තැන දැල්වෙන පහන්..ඉදිරිපස රාත්‍රි මුහුදේ ඝෝෂාව.. මේ හැරෙන විට කෙමෙන් කෙමෙන් ළගා වෙන අඩි ශබිද.. මට වෘක සිරුරට රුපාවතරණය වීමට තිබුණු උවමනාව… මේ ඔක්කෝම අතරින් මගේ ගෙල දැඩි ශක්තිමත් දෑතකට හසුවීම.. නැහැයට දැනුණ සැර රසායනික ගන්ධය.. මේ හැරුණු කොට අන් කිසිවක් මට මතකයට නොනැගේ.
"ඊට පස්සේ ,එතන ලොකු දෙයක් සිද්ද වුණා.."
"කෝ… චාරු?"
"චාරු කවුද?"
"චාරුදර කියන්නේ මෙයා එක්ක මේ කාමරේ නැවතිලා හිටපු අනික් පිරිමි ළමයා එයා දැනට පොලිසියේ කට උත්තරයක් ගන්න එක්ක ගියා.." පොලිස් කාන්තාව කීවාය. මගේ යටිහිත ගිනි ගත්තේ එවිටය. මා චාරුව ගෙනැවිත් දැමු විනාශයක හැටි..
"ඔයා එතන තනියම හිටියෙ ඇයි? ඒ වෙලාවෙ චාරුදර කොහෙද හිටියෙ..?"
"අපි දෙන්නම ක්ලබ් එකේ හිටියෙ.. ඩාන්ස් කර කර.. මිනිස්සු කීප දෙනෙක් ටිකක් ාවනස් විදියට බලන්න පටන්ගත්ත නිසා මං චාරු එක්ක ආපහු ආවා. මගෙ ඔලුව රිදෙන්න ගත්තා. මං ස්පෙශලි බොන ටැබ්ලට් එකක් තියෙන නිසා මං චාරුව ඒක ගේන්න හොටෙල් එකෙන් එලියට යැව්වා… ඒ අතරෙදි තමයි මේ සිද්ධිය වුණෙ"
"මිස් තිනෙත්මා දන්නෙ නෑ ඊට පස්සෙ සිද්ධ වුණු දේ.. ඔයා හිටිය තැනට මිනිස්සු තුන්දෙනෙක් එනවා. ඔයාට සිහි නැති කරන්න හදනවා කියන සිද්ධියත් එක්කම ඔයාට සිහි නැති වෙනවා. හැබැයි සිසිටිවි වල තියෙනවා ඒත් එක්කම කලු ගුලියක් වගේ මුහුද පැත්තෙන් වේගෙන් දුවගෙන එන ලොකු සතෙක්..ඒ සතා කොහෙටද එන්නෙ කියනෙක පේන්නෙ නැහැ.. ඔයාගෙ කාමරේ ලග ලෙ විලක් වෙලා ඔයාට කරදර කරන්න ආපු මිනිස්සුන් ව කැලි කැලි වලට ඉරලා දාලා තියෙනවා. "
"මොකක්.."
මම භීතියෙන් ඇසුවෙමි.
" මේ සිද්ධිය ඇහෙන් දකින්නෙ .. මෙහා කාමරේ කෙනෙක්.. එයාත් ක්ලබ් එකේ ඉදලා එතනට එනවා. හැබැයි එයා එද්දි සුන්බුන් වෙච්ච මිනිස්සු ටිකකුයි සිහි නැති වෙලා වැටිලා ඉන්න ඔයායි දකින්නෙ.."
"එතකොට චාරුදර?"
"එයා එතනට එන්නෙත් කලබලෙන් ඔයාගෙ ෆෝන් එකට කෝල් අරන් අරන් ආන්ස නැති තැන.."
මම සුසුමක් හෙළුවෙමි.
"මාවත් පොලිසියිට එක්ක යනවද?"
"ඔයාට තව ටිකක් විවේක ගන්නෝන"
මම ජංගම දුරකතනය සොයා ගත්තෙමි. ඔය කියන සිද්ධිය සිදු වන වෙලාවට සමාන්තරව චාරුදරගේ දුරකතනයෙන් මට එක දිගට දුරකතන ඇමතුම් ද ගලා ඇවිත් ඇත. එය හොද සාක්ෂියකි. සැනසුම් සුසුමකි. ඒඩ්න් ගේ දුරකතනය මා අමතද්දී ඔහු මේ වන විටත් පැමිණ පොලිසියේ සිටින බව කීවේ ආනික්‍යාය. දේවදාර උයන මේ වන විට මගේ ඖෂධ පුජාව සදහා සුදානම් වෙමින් ඇතැයි මට සිතෙයි. චාරුදර කවදාවත් මෝටර් සයිකල් වරදක් සම්බන්ධයෙන් වත් පොලිසියකට උසාවියකට ගොඩවී නැති අහිංසකයා මේ වන විටත් පොලිසියේය. ඒ අහිංසක කම පැත්තක තිවිවාම කිසියම් මෘගයෙකු විසින් සතුරන් කිහිප දෙනෙකු ඉරාදමා තිබේ.
සමාජ ජාලාවල පුවත් වෙබ් අඩවි වල මේ සිද්ධිය මහ ඉහළින් වාර්තා වී ඇත.
"ඒ මිනිමැරුම් පිලිබඳ තවදුරටත් පරික්ෂණ පැවැත්වෙනව.." පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවය. එහිදි මේ සිදුවීම ගැන මාධ්‍යවේදීන් විමසති.
"මැරුණු අය එතනට ඇවිත් තියෙන්නෙ ගැහැනු ලමයෙක් පැහැර ගන්න කියලයි වාර්තා වෙන්නෙ.."
"ඒ පිලිබඳ නිශ්චිත සාක්ෂි නැහැ. නමුත් අදාල ගැහැනු ළමයා කලුතරට ඇවිත් තියෙන්නෙ කාර්යාලිය උවමනාවක් සදහා. ඇය දේවදාර උයන කැපිටල් ෆයිනැන්ස් පෞද්ගලික සමාගමේ රැකියාව කරමින් ඉදලා තියෙනවා. කොහොම නමුත් මේ මිනිමැරුම් සිදුවන අවස්ථාවේ අැය සිහි මුර්ඡාවි ඉදලු බවට වෛද්‍ය වාර්තාවෙ සටහන් වෙලා තියෙනව. "
"මරණයට පත්වුන අයගේ අනන්‍යතාව පැහැදිලි ද"
"තවම නැහැ. අපි අධිකරණ වෛද්‍ය වාර්තා බලාපොරොත්තු වෙන් ඉන්නවා"
"මිනිමැරුම් සාමාන්‍යයෙන් මනුස්සයෙක් විසින් සිදුකරලද නැත්නම් සිසිටිවි වල සටහන් වෙන අමුතු සතා විසින් කරලද කියලා ඔප්පු කරන්න පුලුවන් ද"
"ඒකත් අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තමයි ඔප්පු කරගන්න වෙන්නෙ. කොහොම වුනත් දැනට මේ සංචාරක හෝටල් නිකේතනය සහ එ අවට ආරක්ෂාව වැඩි කිරිමට පොලිස් බලඇණි කිහිපයක් යොදවලා තියෙනවා. ඒ වගේම අපි ප්‍රදේශයේ සිසිටිවී කැමරා පද්ධති මගින් පරික්ෂණ සිදු කරනවා.ඒ සිද්ධියෙන් පසුව නැවත එහෙම කිසිම සතෙක් දැක්ක බවට කිසිම නිරික්ෂණය ක් වාර්තා වෙලා නැහැ"
මේ සිද්ධිය සම්බන්ධ පොලිස් මාධ්‍ය සාකච්ඡාවයි. තත්වය මා සිතනවාට වඩා බොහෝ දුර ගොස් ඇති බව දැන් මට වැටහෙයි. මේ අතර හිටිහැටියේ උත්‍රා අක්කාත් රන්දිකත් රෝහලට කඩා වැදුණෝය. රන්දික සිටියේම ඇස් වල කදුලු ගුලි පුරවාගෙනය. ඔහුට මට කියන්නට රහසක් තිබුණා වගේය. මම මගේ පෙරසිටි මනුශ්‍ය පෙම්වතා දෙස බලා සිටියෙමි.
"මේ ඔක්කෝම කරන්නෙ උන් තමයි.. උන් ඔයාගෙ ජීවි සාම්පල් හොයනවා.ඔයාව ගෙනිහිල්ලා ඔයාගෙ ජාන ගැන පර්යේෂණ කරන්නයි උන්ට ඕකෙ..ඒත් මට තේරෙන්නෙ නැහැ උන්ට මොනවාද ඕනෙ කියලා..ඔයා හරිම සාමාන්‍ය ගෑනු ළමේක්නෙ තීනු"
"උන් කියන්නේ කවුද.. රන්දි"
"දැනට මට උන්ගෙ අයිඩෙන්ටිටි හොයා ගන්න බැ. නමුත් උන් කමියුනිකේට් කරන ගොඩක් දේවල් දැන් මට අහුවෙනව.."
ඒඩ්න් චාරුදරවත් කැටුව රෝහල් කාමරය වෙත පැමිණි අතර මට චාරුදර තනිකරගෙන සිදුවු යමක් වේද එය අසා දැනගන්නා තෙක් ඉවසිල්ලක් නොවීය. උත්‍රා අක්කා ඒඩ්න් සහ රන්දික සමග කතා කළේ මේ පුවත ගැන සමාජ මාධ්‍ය වල සහ වෙබ් අඩවි වල මොහොතින් මොහොතට යාවත්කාලීන වෙන ප්‍රවෘත්තිය.
"එළියෙත් මීඩියා කීපෙකින්ම ඉන්නව.. මං හිතන්නේ තීනුට අනිවාර්යයෙන් වොයිස් කට් එකක් හරි දෙන්න වෙයි." ඒඩ්න් කීවේ කල්පනාකාරීව ය. මම චාරුදර දෙස බැලුවෙමි.
"මොකද්ද මල්ලි මේ අමුතු සතෙක් ගැන කියන්නේ ?"
"ඒ මිනිස්සුන්ව මරලා නෙමෙයි ඉරලා දාලාලු තිබුණෙ… මිනිස්සුන්ට නම් එහෙම කරන්න. බැහැ කියලා එතන සිද්ධිය දැකපු හොටෙල් එකේ අය කියලතිබුණා"
රන්දික කියද්දී චාරුදර ඔහු දෙස අවධානයෙන් බලා සිටිනු පෙනිණි. ඒඩ්න් උත්‍රා අක්කාත් රන්දිකත් රැගෙන එතැනින් නික්මුණේ කැෆටේරියා එක පැත්තට යන්නම්ය කියාය. චාරුදර හෙමින් ඇඳ ළගට ඇවිත් මා අසල පුටුවෙන් හිඳගත්තේය. මගේ කොපුලක් මත මැදගිල්ල තියා පිරිමැද්දේය. දුකින් මෙන් බලා සිටියේය.
"එච්චර දෙයක්…?"
"ඔයාව නැති වෙන්න යනවා කියලා විතරයි දැනුණෙ"
"සිසිටිවි එහෙම කොහෙ තිබුණද දන්නෙ නෑ.. "
"වෙනස් වෙන තැන කිසි තැනක තිබුණෙ නෑ"
"මට බයයි"
"මට ටික කලක් කැළේට වෙලා ඉන්න පුලුවන් "
කැළේට වෙලා ඉන්නවා කියා චාරුදර අදහස් කරන්නේ වෘක විලාසයට මාරුවී සිටිමය.
"එතකොට මාව බලා ගන්නෙ කවුද?"
"වෙඩින් එකෙන් පස්සෙ ඔයාව බලා ගන්න.. ත්‍යාග ඉන්නවා නෙ.."
මගේ හදවත කඩා වැටුණි.
"ඒ කියන්නේ ඔයා වෙඩින් එකෙන් පස්සේ .. මොකක් කරන්නද හිතා ඉන්නෙ?"
"වෙඩින් එකෙන් පස්සේ මට ඔයා ගැන තිබුණු වගකීම ඉවර වෙනව."
"ඉවර වෙනව කියන්නේ ආදරෙත් ඉවර වෙනවද?"
"ආදරයක් කියන්නේ පටන් ගන්න දෙයක් වත් ඉවර කරන දෙයක් වත් නෙමෙයිනෙ.."
"එතකොට?"
"එහෙම ඉවර කරන්නෙ පටන්ගන්නෙ .. සම්බන්දකම්.."
"වගකීමත් ඉවර වෙනවද"
"වගකීම මාරු වෙනව"
"එයාට ඒක හරියටම කරන්න බැරි නං"
"මං එදාට ආයෙත් එනව"
"මෙච්චර දේවල් මං වෙනුවෙන් කළාටත් පස්සේ .. ඔයාට පුලුවන් ද එහෙම කරන්න චාරු"
" සමහර වෙලාවට අපට කැපකිරීම් කරන්න වෙනව.දැනගෙනනෙ ආදරේ කලෙ."
චාරු මෘදුවත් හැගුම්බරවත් කීවේය. පොලිස් නිලධාරිනියක් නැවත පැමිණ මගෙන් කට උත්තරයක් ලබාගත්. අතර මාධ්‍ය වේදින් කිහිප දෙනෙක් මගෙන් වොයිස් කට් එකක් ලබා ගන්නට බලා සිටින බව ඒඩ්න් මට කිවේය.
"ඔයා කැමති නම් ඒ අය මගැරල යන්න පුලුවන් "
"නැහැ මං එයාලට කතා කරන්නම්"
ඒඩ්න් ගේ වාහනයට මා නගින්නට පෙර මා සමග රෝද පුටුව තල්ලු කරගෙන ආවේ චාරුදරය. ඒඩ්න් මගේ ඇදුම් තිබුනු කුඩා බෑගයද ගෙන මගේ දකුණු පසිනි. රන්දික ත් උත්‍රා අක්කාත් වම් පසිනි. මට සතුටු හැගුමක දැනිණි.
වාහනයට නගින්න රෝද පුුටුව නැවැත්තු තැන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකි. මයික්‍රෆෝන් කිහිපයකි.
"තිනෙත්මා,, අපට කියන්න ඇත්තටම මොකද වුණේ"
"කවුද ඔයාට ඇටැක් කලෙ.. සිසිටිවි වල ඉන්න ලොකු බල්ලාද?"
"ඔයා මොනවද දැක්කෙ.."
මම හුස්මකින් ළය පුම්බා ගතිමි.
"මං දන්නෙ කවුරු හරි මගෙ බෙල්ල හිරකරන්න හැදුව කියලා විතරයි. මං හොදටම ඔලුවෙ කැක්කුම ක් හැදිලයි හිටියෙ.."
"ඔයා හිතනවාද මේ හොටෙල් එකේ නවතින අයට තියෙන සිකියුරිටි එක මදි කියලා"
"මට ඒ ගැන නං හරියටම කියන්න බෑ.."
"ඔයා මේ එන්නෙ ප්‍රයිවට් සිකියුරිටි එකක් .. එක්කද?"
චාරුදර වහා අතින් ඔවුන්ව ඈත් කරමින් මා වාහනයට නංවා ගනිද්දී එක් මාධ්‍යවේදියෙක් එහෙමත් ඇසුවේය. මම කිසිත් නොකීමි. ඔවුන්ගේ කැමරාවට ඔරවා ගත් චාරුදරගේ මුහුණ හසු වෙන්නට ඇත. ඒඩ්න් ගේ ආරාධනයෙන් රන්දික ඉදිරිපස අසුනට නැගි අතර උත්‍රා අක්කා මා ළගින් හිඳ ගන්නට හදද්දී චාරුදර ඇය දෙස හරි කෙළින් බැල්මක් බැලුවේය. ඉතින් උත්‍රා අක්කා පසුපස ආසනයට ගියාය. ඇගේ මුහුණේ නොරිස්සුම් සහගත බවක් වෙනුවට මදහසක් තිබිම ගැන මම ස්තුතිවන්ත වෙමි.
"මට කලින් ඩේට් කලෙ අරූ එක්කනෙ" රන්දිකට නොඇසෙන්නට මගේ කන් පෙත්තකට දෙතෛාල ළං කර ඔහු ඇසුවේය. ඒඩ්න් හයියෙන් සිනාසුණේ මන්දැයි මම දනිමි. ඔහුට අප කතා කරන සියල්ල හොදින් ඇසෙයි. වැම්පයරයන්ගේ ශ්‍රව්‍ය සංවේනදය ඉහළය. රන්දික ඒඩ්න් ගේ සිනහව නිසා අප දෙස හැරී බැලුවේය. චාරුදර නළල රැළි කර අහක බලා ගත්තේය. පෙරසිටි පෙම්වතාත් දැන් හිදින පෙම්වතාත් අතරේ ගැටුම් ඇති වෙනවාට මා කැමති නැත.
"ඒ ඉතින් ඔයාට කලින්නෙ.."
"මිනිහ තාම ඔයාට ආදරෙයි"
"වෙන්නැති. මට හැමෝම ආදරෙයි.. මං ඇල්ෆා නේ"
"ඔයා දන්නවා ද ඇයි හැමෝම ඔයාට ආදරේ කරන්නෙ කියලා"
"ඇල්ෆා කෙනෙක්ට කෙනෙක් ආදරේ කරන්නෙ තමන්ගේ ජීවිතේට මොකක් හරි දෙයක් ඒ කෙනාගෙන් සිද්ධ වෙයි කියන විශ්වාසෙයි බලාපොරොත්තුව යි නිසා.. මං ඇල්ෆා නෙමෙයි නම් මේ කවුරුත් මට ආදරේ කරන්නෙ නෑ"
මම සුසුමක් හෙළමි. ඇත්තෙන්ම මා ඇල්ෆා නොවි නිකම්ම නිකම් තිනෙත්මා වුනා නම් මේ කවුරුත් මට ආදරය කරන්නේ නැත. කරනවා නම් ඒ එකම එක්කෙනෙක් පමණකි. මේ වම් උරිස්සට හේත්තුවී මගේ වචනයෙන් වචනය ගානේ ඇස් වලින් මා උරා ගන්නා අහිංසක ආදරණීය යා පමණකි. අහිංසක? මිනිස්සු ුතුන් දෙනෙක් මරලා දාපු රිපර් කෙනෙකුටද ඔයා ඔය අහිංසකයි කියන්නේ .. මගේ හිත මගෙන් අසයි. ඒත් ඒ මැරුණ මිනිස්සුන්ට මා උවමනා වුයේ රන්දික කියනාකාරයේ ජීවී සාම්පල ලබා ගැනිමට බව විශ්වාස කරන්නේ කොහොමද කියා මම තවම සිතමි.

No comments:
Post a Comment