#DT
20
ත්‍යාග මදෙස බලා සිටියේය. චාරුදර නැවත එනතෙක් කිසිවක් නොපවසා නොසෙල්ලී ඉන්නට ක්ශනික එහෙත් හිතුවක්කාර තීරණයක් මට ගන්නට සිදුවුයේ ග්‍රීක ප්‍රතිමාවක් වගේ ආරෝහ පරිණාහ දේහයකින් යුක්තව නම දන්නා එහෙත් නොහඳුනන පිරිමියෙක් මා අසල හිටගෙන සිටින බැවිනි.
"එයාට එන්න කියන්න.." මම ත්‍යාගට බලපෑම් කරන ශබ්දයකින් කීවෙමි. මට බියක් නොදැනෙයි. එහෙත් දැඩි ආගන්තුක බවක් දැනෙයි.
"එයා එයි. එයාට ඔයාට ෆේස් කරනෙක චුට්ටක් අමාරු වෙයි.ඔහොම ටික වෙලාවක් හිටියාවෙ.. " ඔහු දිගු බර සුසුමක් හෙළුවේය.
" අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ලොකු යුතුකම් ගොඩකුත් එක්කයි තීනු.. ඒවට සමහරවිට අපි අකමැතියි.. ඔයා දන්නවද අවුරුදු ගාණක් තිස්සෙ මං ජීවිතේ ගෙවන්නේ දැන් ඔය චාරුදර ට්රාන්ෆෝම් වෙච්ච විදියට වෘකයෙක් විදියට.. මට දැනෙනව තේරෙනව. ඒත් මගෙ ජීවිතේ සම්පුර්ණයෙන් ම ගෙවෙන්නෙ, මගේ විතරක් නොමයි අපි තිස් නම දෙනෙක් ජිප් වෙන්නෙ වෘකරැළක් විදියට. අපට යක්දෙස්සෙක්ගෙ දරුණු සාපයක් වැදිලයි තියෙන්නෙ.. අපි පෝය දෙකකට වතාවක් හද පායලා තියෙනකම් මිිනිස්සු විදියට ඉන්නවා …"
මම නළල දෙපසින් තද කර අල්ලා ගතිමි. මගේ කුඩා ඔළුව සැදී තිබුණේ මේ කතා ගෙතු කතා හැටියට රස වින්දනය කිරිමට පමණකි. එහෙත් දැන් එය එසේ නොවේ. එළුා හැබහින්ම මා ඉදිරියෙ සිදුවෙමින් පවතියි.
" එතකොට, ඔයාලා මුළු ජීවිත කාලෙම ඔහොමද? මං අහන්නෙ… හැමදාම එහෙම ඉදල මාස දෙකකට සැරයක් ෆුල්මුන් එහෙකදි මිනිස්සු විදියට පැය ගාණක් ඉන්නවා ද?"
ත්‍යාග හිස සෙලෙව්වේය.
"එතකොට, ඔයාද බංග්ලෝ එකට ආවෙ?"
"ඔව්"
"ඒත් ඇයි?"
"ඔයාව පරෙස්සම් කරගන්න"
"කාගෙන්ද?"
"කාගෙන්වත් නෙමෙයි.. නිකම්"
" හේතුව "
"හේතුවද?"
තියුණු දිගු නැහැයකි. ඝණ කළු ඇහැපිය යට වතුර මෙන් පැහැදිලි දෑසකි. ඒවායෙ අමුතුවෙන් මනමාලකමක් නැත. රාගයක් හෝ නැත. පැහැදිලි ය. අහිංසක ය. ඝනට නොවැඩුන රැවුලකි. හැඩ දෙතොලකි. මනරම් සිනහවකි. එ ත්‍යාග ය.
" අර්ධ සුර්ය වංශික ලේ කැටියක් අර්ධ චන්ද්‍ර වංශික ලේ කැටියකට මුහු වෙන්න නියමිතයි. එයින් පුර්ණ සඳ හිරු වංශය බිහිවෙනවා. විසි එක්වන සියවසේදි මෙහෙම වෙනවා කියලා කියන්නෙ සියවස් තුනකට එහා ඉතිහාසයකදි. අවුරුදු තුන්සියයකට එහා අනාවැකිය ක් සාර්ථක වෙන්නෙ අර්ධ චන්ද්‍ර. වංශයෙ ඔයාත් රර්ධ සුර්ය වංශයෙ මමත් නිසාය කියලයි මිනිස්සු විශ්වාස කරන්නෙ.. ඒ වගේමයි පුර්ණ චන්ද්‍ර සුර්ය වංශයෙ නිර්මාණ උරුමක්කාරිය ඔයායි.. අපෙ ලේ වලින් බිහිවෙන දරුවෙකුට තමයි පුර්ණ සඳහිරු වංශයෙ උරුමක්කාරයා වෙන්න වාසනාව තියෙන්නෙ"
සිහි එළවා ගැනිමට සැලකිය යුතු වෙලාවක් ගතවිය.
"ඒත් කොහොමද ඒ අනාවැකිය කියන්නේ මාස දෙහෙකට සැරයක් පැය හයකට මනුස්සයෙක් බවට පත්වෙන කුමාරයෙක්ට ඔය කියන චන්ද්‍ර වංශය පවත්වගෙන යන්න පුලුවන් ය කියලා.."
"ඒ ශාපය බිඳින්නත් පුළුවන් ඔයාටයි. මොකද ඔයායි විසිඑක්වෙනි ශත වර්ශයෙ දේවදාර උයනෙ හැම වංශයකම නායිකාව වෙන්නෙ..ඇල්ෆා වෙන්නෙ.. ඔයාගෙ අතෙයි මේ මිනිස්සුන්ගෙ පෙළපත්වල පැවැත්ම තියෙන්නෙ.. ඔයාටයි පුලුවන් මේ සාපයෙන් අපි තිස් නම දෙනාවම ගලවන්න.. නිිදහස් කරන්න..අපට ආයෙ මනුස්ස ආත්ම අරන් දෙන්න"
මං! දේවදාර උද්‍යායෙ හැම වංශයකටම නායිකාව මගේ කන් ඇසිමත් මොළයේ සංවේදනයත් ඒ තරමට නිවැරදියි නම් ඇත්තටම ඔවුන්ගෙ ඇල්ෆා මා විය යුතුය.නායකත්වය සම්බන්ධ කරුණු බාගෙට අතැර දැමු උපාධිය හදාරද්දී මා උගත්තා සිහිවෙයි. ඔය කියනා විදියට මා බෝන් ලීඩ කෙනෙකි.නායකත්වය දරන්නටම ඉපදී ඇත. එපමණක් නොවේ. මගේ කුසින් උපදින දරුවෙකු ගැනත්, ඒ දරුවා අලුත් වංශයක් මේ දේවදාර උද්‍යානය වෙත හඳුන්වා ඩදන්නට යනබවත් කියන අනාවැකියකි
ගැහැනු බලයට පිරිමින් ට වඩා කැමතිවෙති. ලොබ බදිති. ලොල් වෙති. ලෝක ඉතිහාසය පුරාවට අපට එවැනි බලලෝභී ගැහැනු හමුවෙති. මා තුල සිටින ගැහැනු ජාන බලයක් නායකත්වයක් ගැන අසද්දීම උමතු. භාවයකින් අවදි වීම මටද විශ්මයජනකය.
"ඔයාව කර්ස් එකෙන් නිදහස් කළාම මට මොනවද ලැබෙන්නෙ.."
ත්‍යාග මදෙස බැලුවේ පුදුමයෙනි.
" ඔයා කර්ස් එකෙන් බේරගන්නෙ.. ඔයාගෙ කුමාරයාවනෙ තීනු.. යක්දෙස්සන්ගෙ ශාපයට වඩා ඔයාගෙ හදවත ආදරයෙන් පාරිශුද්ධ වෙන්නෝන.. " ත්‍යාග කියන්නේ හොඳ සිහියෙන්ද මා දන්නේ නැත. මේ කියන විදියේ පාරිශුද්ධ ආදරයක් හිටිහැටියේ මෙතනට පහළවු කුමාරයෙකැයි කියාගන්ො මේ තරුණයා කෙරෙයි ඇති වේවියි ඔහු බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
මට දුක හිතෙයි. තීනෙත්මා පෙම් කළා නම් ඒ රන්දිකට පමණකැයි එදවසද මම විශ්වාස කරමි. මේ කතන්දරයේ කොතැනක හෝ රන්දික නැත්ද? චාරුදරත් මාත් අතර වෙන්නේ කොයිවගේ සම්බන්ධතාවක් ද? ඉතිහාසය නොවේනම් අනාවැකිය, ඔය ඕනැ එකක් චාරුදරටත් මටත් කිසිම ඡේදයක් ඉතිරි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැත්ද?
කොහොමත්, මා නම් ඔය කියන ඇල්ෆා මට අනාගතය අලුතින් ලියන්නට බැරිද?
"ඇයි ඔයාගෙ සුර්ය වංශයෙ තිස්නමදෙනෙක් විතරක් ඉන්නෙ? චාරු, එතකොට මොන වංශයටද අයිති? එයා ට ඇයි ඔය කියන සාපය බල නොපාන්නෙ?"
"චාරු ගේ අම්මා අයිති වෙන්නෙ වෙන උප කුලකයකට.. ඒ නිසා එයාගෙ ඇගේ පිරිසිදු සුර්ය වංශ ලේ ධාතු නෑ.."
ත්‍යාග කියන සියල්ලෙහි අග මුල පාහාගෙන හරි හමන් සිහියකට එන්නට මට සෑහෙන වෙලාවක් ගතවෙනු ඇතැයි මම සිතමි. ඈතින් අහස තැඹිලි පැහැයට හැරෙයි. මා දන්නා විදියට ආයේ දෙපෝයකට ත්‍යාග මිනිසත් බව නොලබයි.
"මං මොනවද ඔයාව/ ඔයාලව මේ සාපෙන් ගලවගන්න කරන්න ඕන..?"
අවසානයේ මම ඇසුවෙමි
.
"ඔයාට අපි එක්ක ගණුදෙනුවක් කරන්න තියෙනව.. ඒකෙන් ඇත්තටම වෙන්නෙ අපි ඇල්ෆා විදියට ඔයාව පිළිගන්න එක ඔයාට කීකරු ාවන එක.. ඒත් එක කොන්දේසියක් තියෙනව..""
"ඒ මොකක්ද ඒක.. ?"
" ඔයාත් ජාන ඇක්ටිවේට් කරගෙන වෘක වේශයට එන්නොනෙ.. ට්‍රාන්ස්ෆෝම් වෙන්නෝන.. එහෙම නැත්නම් ඔයාට මේ දේවදාර උයනෙ ඇල්ෆා වෙන්න විදියක් නෑ.. මං මේක කරන්නම කියලා බල කරනවා නෙමෙයි.. ඒත් ඔයාට මේ පොළවෙ කරන්න තියෙන වැඩ කොටස පටන් ගන්න පුලුවන් ඒකෙන්.."
මා මදක් පසුපසට විසි වෙන්නට ඇතැයි සිතමි. මගේ මුහුණෙහි ඇති වෙන පරාජිත බව ත්‍යාග තේරුම් ගන්නට ඇත. වෘකයෙක්! සුරතලෙක් වගේ දැනුණාට මහ දරුණු සිව්පා සතෙක්.. තව හෝරාවක් යන්නට මත්තෙන් මා ඉදිරියේ මේ සිටගෙන සිටිනා උත්තුංග දේහධාරි පිරිමියාද ඒ සත්ව වේශයට මාරුවීමට නියමිත ය.
" මේ ඔක්කෝම දරාගන්න අමාරුයි තමයි.. ඒත් ඔයාගෙ පැවැත්මේ අභිමානය තීරණය වෙන්නෙ දේවදාර උයනෙ ඇල්ෆා වෙලා මේ මිනිස්සුන්ව සුවපත් කිරිමෙන්ද ආපහු කොළඹ ගිහින් රස්සාවක් කරගෙන නයිට් ක්ලබ් එකකට ගිහින් විනෝද වෙලා.. හම්බ වෙන කැමති හිතෙන කොල්ලෙක් ව කසාද බැදල ලමයෙක් හදාගෙන සාමාන්‍ය ගැනියෙක් වගෙ ජීවත් වෙලා මැරිලා යනෙකෙන්ද කියලා තීරණය කරන එක ඔයාගෙ තේරිමක්.. අපි ආයෙ මාස දෙකකින් හම්බෙමු. මං හිතන්නේ ඔයා ඒ. වෙද්දි තීරණයක් අරන් ඉදිවියි කියල"
ත්‍යාග අනවසරයෙන්ම මගේ කම්මුලක් සිපගත්තේය. මම ඔහේ බලා සිටියෙමි. අඩුම ගණනේ සංයෝජනය විය යුත්තේ ඔහුත් මාත් නම් "දැනෙන්න හාද්දක් දෙන්න උවමනාවක් නැති පිරිමියෙකුට තිනෙත්මා ළං කිරිමේ මුග්ධ තීරණය අයිති සොබාදහමටද?
මේ කිසිවකට මට තනි තීරණයක් ගන්නට නොහැකි යයි මම අවසානයේ තීරණය කළෙමි. චාරුදර ඔහුගේ අර කියන කොහෙල්මල් ආදරයද සමග වෘක වලිගය පශ්චාත් භාගයේ රදවා ගෙන අතුරුදන් ව ගොසිනි. වෘක වෙස්ගන්නට හැකිවුණාට වෘක අභිමානයෙන් හැසිරෙන්නට ඔහුට බැරි අඥාන කපටි මනුස්ස පිරිමි ගතිය මිශ්‍ර හින්දාය. ඉතිරි බිතිරි වු කෑම ටිකත් බෑගයට දමාගෙන මම මොහොතකට කල්පනා කළෙමි.
චාරුදර වෘකයා වෙන්නට පෙර ඇද සිටි කලිසම එහෙමමය. "කරන්නංකො උඹට හොද වැඩක්" පළිගැනිමට උවමනා යටිහිත සැනෙන් ක්‍රියාත්මක වුයෙන් එයද ගෙන එහෙමම බෑග් එකට ඔබා ගනිමින් මම අලුයම උදාහිරු කැරළිද සමග මිටියාවතින් බංගලා කන්ද නැග්ගෙමි. කෑම බීම ටික මුලුතැන්ගෙට ගෙනගොස් තබමින් චාරුදරගේ බෑග් එකත් රැගෙන නිදන කාමරයට ගියෙමි.
කෙටි නින්ද කැඩුණේ , ජනේලයේ වීදුරුවට කෝටුවකින් අනින හඩකිනි. පහල සිට දිග කෝටුවකින් ජනේලයට අනිමින් සිටි චාරුදර සිටියේ. සිරුරෙහි නුල් පටක් හෝ නැතිවය. මා ජනේලය අරිද්දි වීරයා කෝටුව අත්ඇරියේ තවදුරටත් අබිමානය රැකගැනිමටනම් දෙඅතම බාවිතා කර වසාගන්නට තැනක් තිබු හින්දාය.
" තීනු.තීනු.. අනේීනුවො.. දැන් එලිය වැටිල .. මට කලිසම දෙනවකො.. මං කොල අත්තක් ඇදගන්න වෙලා ඉන්නෙ මේ.."
" ඇවිත් අරං යනවකො.. "
"එහෙම කියන්නෙපා කෙල්ලෙ…කුට්ටන් ඉන්නවා නේද ඇතුලෙ.. මං කොහොමද මෙහෙම එන්නෙ.. අනික මඩ නාගෙන ඉන්නෙ මම"
"මෝඩ වළහා.. අඩු ගානෙ මේක අදිනකොට මේකට යටින් වෙන පොඩි ඇදුමක් ඇදගන්නවත් බැයිද ?"
" අරම වෙන වෙන සැරේට එතකොට තව ඇදුමක් ගලවන්නද කියන්නේ ? පිස්සු නැතිව ඕක දෙනවකො මැණිකේ"
" මෝඩ වළහා.. " ජනෙල් කවුලුවෙන් එහාට බෑගය අත් හැරිමෙන් පසු ඇත්තමයි මට උත්‍රා අක්කාට කියා සිනාසෙන්නට අමුතුම කරුණක් යෙදී තිබිණි.
.jpg)
No comments:
Post a Comment